• Breaking News

    ජනසතු සේවාවෙන් අපෝන්සු එලවන්න ජවිපෙ සූදානමින්


    ක්‍රිකට් වල මහ හොරුන් එලවීම පුනරුද රජය දිනෙන් දින පමා කරද්දී ජවිපෙ වරාය සේවක සංගමය ක්‍රිකට් වලට අරක් ගෙන සිටින වරාය සේවකයකු ජනසතු සේවා ක්‍රිකට් සංගමයෙන් එලවීමට පියවර ගනිමින් සිටින බව lankasportnews වෙත වාර්තා වෙනවා.  


    ජනසතු සේවා ක්‍රිකට් සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම හා නිලවරණය ජනවාරි 17 දා පැවැත්වීමට නියමිත අතර 2015 වසරේ සිට තවමත් එහි සභාපති ධූරය උසුලන්නේ වරායේ නිලධාරි ශ්‍රේණියේ අයකු වන නලින් අපෝන්සුය.


    2015 මහින්ද රාජපක්ෂ බලයෙන් පහ වීමත් සමග එතෙක් ජනසතු සේවා ක්‍රිකට් සංගමයේ සභාපති ලෙස කටයුතු කළ වරාය අධිකාරියේ සභාපති ප්‍රියත් බන්දු ඉන් ඉවත් වූ පසු සභාපති ධූරයට පිවිසි නලින් අපෝන්සු මේ දක්වා අනීතික ලෙස එම ධූරයේ රැඳී සිටින බවට පවසන වරාය සේවකයන් මෙවර ඔහුට නැවත සභාපති වීමට ඉඩ නොතබන බව පවසනවා.


    ජනසතු සේවා ක්‍රිකට් සංගමයේ ව්‍යවස්ථාව කූඨ ලෙස වෙනස් කොට වෙනත් අයකුට එහි සභාපති හා ලේකම් ලෙස පත්වීමට ඉඩ නොදී නලීන් අපෝන්සු හා ලංකා බැංකුවේ ඉමල්ෂා වසර දහයක් පමණ මුළුල්ලේ එම තනතුරු වල එල්ලී සිටිමින් ක්‍රිකට් විධායක සභාවට රිංගා මිලියන ගණන් මුදල් හම්බ කරන බව පවසන මෙම වරාය සේවකයෝ වරක් අපෝන්සුගේ ගෙය හොරු බින්ද අවස්ථාවේ ලක්ෂ ගණනක ඩොලර් හා රුපියල් නැතිවූ බවට අපෝන්සු පොලිසියට ලබා දුන් කට උත්තරයෙන්ම මොහුගේ හම්බ කිරීම පිළිබඳ ඔප්පු වූ බවත් lankasportnews වෙත පවසා සිටියා.මොහු විසින් මෑතකදී කෝටි ගණනක් වටිනා නවීන පන්නයේ නිවසක්ද ඉදි කර ඇති බවත් වාර්තා වෙනවා.


    ප්‍රියත් බන්දු සමයේ ඉදිකිරීම් ආරම්භ කර අඩක් නිම කොට තිබූ රත්මලාන ජනසතු සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ක්‍රීඩාගාරය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ලබා ගත් රුපියල් මිලියන 45 ක් වියදම් කොට පසුගියදා විවෘත කරන්නට යෙදුනා.


    ඉන් රුපියල් ලක්ෂ 80 ක්ම සැලසුම්කරණයට පමණක් වියදම් කළ බව දක්වා ඇති අතර වීදුරු සවිකර වායුසමීකරණය කරන්නට පමණක් මෙතරම් මුදලක් වැය කළේ කෙසේද යන්න ඉදිරියේදී විමර්ෂණය කළයුතු බවත් ඔවුන් පවසනවා.


    මේ අතර වරායේ ඉහළ නිලයක් දැරීමට තරම් නලින් අපෝන්සුට ඇති අධ්‍යාපන සුදුසුකම් මොනවාද යන්නත් සොයා බැලිය යුතු බවත් ඔවුන් පවසනවා.


    පුනරුද රජයක් යටතේ දූෂිතයන් පලවා හැරීම අනිවාර්ය කටයුත්තක් බැවින් ක්‍රිකට් දූෂිතයන් එලවීම ජනසතු සේවා ක්‍රිකට් සංගමයෙන්ම ආරම්භ කරන බවත් වරාය ජවිපෙ වෘත්තීය සමිති නිලධාරියකු lankasportnews වෙබ් අඩවිය වෙත වැඩිද්‍රරටත් පැවසුවා.

    No comments