Thursday, December 5, 2024

ආර්.ප්‍රේමදාස පිටියේ මහ දවල් ලයිට් මංකොල්ලය - ලයිට් බලන්න පස් දෙනෙක්ම ඉතාලි ගිහින්


තිබෙන ඒවා ගලවා අලුත් ඒවා සවි කිරීමට අපේ ක්‍රිකට් ආයතනය තරම් තැනක් වෙන නොමැති තරම්. මේ බොහෝ ගැලවීම් හා සවි කිරීම් සිදු වන්නේ ක්‍රිකට් ආයතනය සතු ජාත්‍යන්තර ක්‍රීඩාංගණ වලයි.


පසුගියදා දඹුල්ල ක්‍රීඩාංගණයේද මෙතෙක් තිබූ ආලෝක ධාරා පද්ධතිය කණු පිටින් ගලවා   අලුත් කරන්නට යෙදුනා. දැන් ඔවුන් ඛෙත්තාරාම ආර්.ප්‍රේමදාස පිටියේ ආලෝක ධාරා පද්ධතියද එහෙම පිටින්ම ගලවා අලුත් පද්ධතියක් සවි කරන්නට යන බව lankasportnews වෙත වාර්තා වෙනවා.

ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර තොරතුරු මගින් දැන ගන්නට ඇත්තේ  එහි කොන්ත්‍රාත්තුව දැනටත් මෙහි නඩත්තුව සිදු කරන ඩිමෝ ආයතනයට ලබා දී ඇති බවයි. මේ සඳහා ඇස්තමේන්තුව මිලියන 200 ක් පමණ වුණත් එය ලබා දී ඇත්තේ මිලියන 330 කට බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එහි කොමිස් මුදල ඔබට හිතා ගන්න පුළුවන්. මුලින්ම මුළු දඹුල්ල ක්‍රීඩාංගණයම ඉදි කරන්න වැය වුණේත් මෙවැනිම මුදලක්.

ආර්. ප්‍රේමදාස පිටියේ ආලෝක ධාරා පද්ධතිය සඳහා වසර 15 ක ගැරන්ටියක් ලබා දී තිබුණත් ඊට පෙර මෙය ඉවත් කරන්නට යන්නේ ඉන් ලැබෙන කොමිස් මුදල සාක්කුවට දා ගැනීමට බවත් කියවෙනවා.

මෙහි මහ මොළකරුවන් වන්නේ සුජීව ගොඩලියැද්ද හා ඩිමෝ අධ්පති ‍රංජිත් පණ්ඩිතගේයි.

කොළඹ එස්.එස්.සී.ක්‍රීඩාංගණයේද විධායක කමිටුවේ සිටින රංජිත් පණ්ඩිතගේ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයෙන් ගලවන ආලෝක ධාරා පද්ධතිය එස්.එස්.සී පිටියේ සවි කිරීමට පිඹුරු පත් සකසා ඇති බව lankasportnews වෙත වාර්තා වෙනවා.

එහෙත් පැරණි ආලෝක ධාරා පද්ධතියක් සවි කිරීමට එස්.එස්.සී. විධායක  සභාවේ විරුද්ධතාවක් මතුව තිබෙනවා.

කොහොම වුණත් ඩිමෝ සමාගමට කොන්ත්‍රාත්තුව දී තිබුණත් ලයිට් හා කණු ගැනීමට අධ්‍යයනයක් කිරීමට බව කියමින් ක්‍රිකට් ආයතනයේ සේවකයන් සිව් දෙනකු හා ඩිමෝ සමාගමේ නියෝජිතයකු මේ දිනවල ඉතාලියට ගොස් තිබෙනවා.
ඒ දිනකට පර්ඩියම් ඩොලර් දීමනාද සමගයි.

මේ සඳහා ඉතාලියට ගොස් ඇත්තේ ජාතික සංවර්ධන අංශ ප්‍රධානී කමල් ධර්මසිරි, විදුලි ඉංජිනේරු සුපුන් ජයවීර, ප්‍රධාන සිවිල් ඉංජිනේරු ධනුෂ්ක විජේරත්න, ටෙන්ඩර් පිළියෙළ කරන නිලධාරී සම්පත් පුෂ්පකුමාර හා ඩිමෝ ආයතනයේ දමිත් එරන්ද යන පස් දෙනායි.


මෙහි දැක්වෙන්නේ ඔවුන් ඉතාලියේ රවුම් ගසද්දී ගත් පින්තූරයක්.


නියමිත ටෙන්ඩර් පටිපාටියකින් තොරව මේ කටයුත්ත සිදු වුණේද යන්න සොයා බැලීම අලුත් ක්‍රීඩා ඇමතිවරයාගේ වගකීමක්. එසේ නොමැති නම් වන්නේ හොරු අල්ලන්නට ආ අනුර කුමාර රජයේ ඇත්තන්ටත් රෙදි නැතිව හෙළුවෙන් ඉන්නයි. ක්‍රිකට් ආයතනයේ මෙවැනි හොරකම් හා අකටයුතු ඕනෑ තරම් අප පෙන්වා දී තිබෙන අතර ඉදිරියේ තවත් එවැනි තොරතුරු ජනතාව හමුවට ගෙන එන්න අප සූදානම්.

No comments:

Post a Comment