Saturday, December 14, 2024

ටී ටෙන් බෙටින් ලීගයේ අප පෙන්වූ නිරුවත හෙළිවෙයි - ගොල් මාවල්ස් අයිතිකරු රිමාන්ඩ්



පුදනකොටම කාපි යකා කියන්නාක් මෙන් ලංකා ටී ටෙන් ලීගය ආරම්භයේදීම මැච් ෆික්සින් හෙවත් තරග පාවා දීමක් අතටම අහුවෙලා තිබෙනවා. ගාල්ල මාවල්ස් කණ්ඩායමේ අයිතිකරු වන ඉන්දීය ජාතික ප්‍රේම් ටකූර් නමැත්තා එම කණ්ඩායමේම කොදෙව් ක්‍රීඩකයකුට අඩු දස්කම් දැක්වීමට ඩොලර් 15,000 ක්  දීමට යෝජනා කර පොලිසියට හසු වී තිබෙනවා.


සුගතදාස ක්‍රීඩාංගණයේ පිහිටුවා ඇති ක්‍රීඩාවේ වංචා දූෂණ සෙවීමේ ඒකකය මගින් අත් අඩංගුවට ගනු ලැබූ මෙම ඉන්දීය ජාතිකයා  දෙසැම්බර් 16 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.


කොදෙව් ක්‍රීඩකයා විසින් අයිසීසියට මේ පිළිබඳව කරන ලද පැමිණිල්ලකට අනුවයි මොහු අත් අඩංගුවට ගෙන තිබෙන්නේ.


ලංකාවේ ක්‍රීඩා වල දූෂණ කවදත්  හෙළිදරව් කරන අප lankasportnews වෙබ් අඩවිය මගින් මෙම ටී ටෙන් ලීගය සැක සහිත බව කලින්ම හෙළිදරව් කළා.


මේ අනුව අප කී දේ ඒ ආකාරයෙන්ම සිදු වුණා. මේ පළමු සිද්ධිය පමණයි.තව බොහෝ දේ ඉදිරියේ සිදු විය හැකි බව අපි වගකීමෙන් යුතුව නැවතත් කියනවා.


මේ ගෝල් මාවල්ස් අයිතිකරු වන මැච් ෆික්සින් පප්පා මෙහි ආවේ හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ හා සනත් ජයසූරියගේ ආශිර්වාදයෙන් බව කිව යුතුයි.


ෂාජි හා ෂම්මිගේ මෙම ටි ටෙන් බෙටින් ලීගයේ ගෝල් මාවල් කණ්ඩායමේ සෙස්සන්ද මැච් ෆික්සින් වල පුරුදුකාරයන්.


එහි පුහුණුකරු කපුගෙදර හා ක්‍රීඩක කළමනාකරුවන් වන අමිල කළුගලගේ මෙන්ම ඈෂ් අසංගත් තරග පාවාදීමේ විශේෂ හැකියාවක් ඇති පුද්ගලයන් බව ප්‍රකට කරුණක්.


මෙම ලීගයේ විස්තර විචාරයේ යෙදෙන රොෂාන් අබේසිංහ හා මහරූෆ් අනිල් මොහාන්ගේ අගසව්වන් ලෙස කටයුතු කරන්නන්.


තරග අධ්‍යක්ෂ සමන්ත දොඩන්වලත් සැක කටයුතු තවත් අයෙක්.

කැන්ඩි බෝල්ට්ස් පිලේ පුහුණුකරු ධූරය හදිසියේ වෙනස් කිරීම ගැනත් lankasportnews මීට පෙර හෙළිදරව් කළා.


පහුගිය ලංකා ප්‍රිමියර් ලීගයේ ක්‍රීඩක වෙන්දේසියේදි ක්‍රීඩකයන් කලින්ම තෝරා ගත් ආකාරය හා සංචාරයක නිරතව සිටි ශ්‍රී ලංකා පිලට එක් නොවි මහීෂ් තීක්ෂණ එයට එක්ව සිටීමේ සැක සහිත බව අප මීට පෙර හෙළිදරව් කළා.


මෙම ටී ටෙන් ලීගය එහෙම පිටින්ම බෙටින් ලීගයක් බව අප කීවේ කාටත් කලින්.

ගෝල් මාවල් අයිතිකරුගේ සිද්ධියෙන් එය හොඳින්ම ඔප්පු වෙනවා.


හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මේ ලීග වලට අනුමැතිය නොදුන්නේ මේ නිසයි. හිටපු ක්‍රීඩා ඇමතිවරුන්ගෙන් මේ සඳහා කොන්දක් තිබුණේ ඔහුට පමණයි.


ඒත් ෂම්මිලාගේ මුදලට ගිජු වුණු සාගල රත්නායකලා රනිලුත් අන්දා රොෂාන් රණසිංහත් පන්නා දැම්මා.

රොෂාන්ගෙන් පසු ක්‍රීඩා ඇමති වු හරින් ප්‍රනාන්දු මේ ලීග වලින් හොඳ ආතල් එකක් ගත්තා.


ඔහුගේ ගජමිතුරු සමාගමත් ඔහු සමගම මේ ලීග වල හවුල්කාරයන් බවට පත්වුණා.


අනුර කුමාර රජය දැන්වත් මේ ගැන වහාම පරීක්ෂණයක් පවත්වා මේ හොර ලීග නැවැත්වීමට කටයුතු කළ යුතුයි.

නැත්තන් වනුයේ කතානායක සිද්ධිය මෙන් නා ගන්නයි.


ජනාධිපති අනුර විසින් පත් කර ඇති වැස්සටවත් දුවලනැති ක්‍රීඩා ඇමති වරයාත් ඔලිම්පික් දිවූ නියෝජ්‍ය ඇමතිවරයාත් තවමත් ක්‍රිකට් ක්‍රීඩාව අරක්ගත්  හොරු ගැන ඇස් ඇර බලලාවත් නැති නිසා ක්‍රිකට් හොරු ඉන්නේ තවමත් කිසිදු බියකින් තොරවයි.


හොඳ හොඳ සෙල්ලම් එළිවන ජාමෙට කිව්වාක් මෙන් මෙම ටි ටෙන් බෙටින් ලීගයේ තව සෙල්ලම් ඉදිරියේ අනාවරණය වීමට නියමිතයි. ඒ සෙල්ලම් ටිකත් හෙළිදරව් කරන්නට lankasportnews සූදානමින් ඉන්නවා. ලංකාවේ සියලුම මාධ්‍ය ෂම්මිකරණය වී තිබියදී ක්‍රිකට් දූෂණ වංචා හොරුන්  හෙළිදරව් කරන එකම මාධ්‍යය lankasportnews බව අප මතක් කර සිට්නවා.

සබැඳි පෙර ලිපි



No comments:

Post a Comment