Saturday, May 25, 2024

ලංකා ප්‍රිමියර් ලීග් කුණු ගොඩ ඇවිස්සෙයි.! ක්‍රීඩක හොර ඒජන්තයන්ගේ සෙල්ලම්..



ලංකා ප්‍රිමියර් ක්‍රිකට් ලීගය මේ වන විට ලෝකයේම කතා බහට ලක්වන සූදු ලීගයක් බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම දඹුල්ල ලීගයේ හිමි කරුවන් තිදෙනකුම තරග පාවා දීමේ හෝ මූල්‍ය වංචා වලට හසුව තිබීමත් කැපී පෙනෙනවා. 


2024 තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අවසන් වූ පසු දඹුල්ල ලීගයේ හිමි කරු යැයි පවසන බංග්ලාදේශ ජාතික ටමීම් රහ්මන් පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරනු ලැබ දැන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.




මෙවර ක්‍රීඩක වෙන්දේසිය එහෙම පිටින්ම කලින් පුහුණුවී කරන ලද නාටකයක් බවට පත්ව ඇති බවයි lankasportnews වෙත වාර්තා වන්නේ. 


අප කොළඹ වාර්තාකරු පවසන ආකාරයට ක්‍රීඩක කළමනාකරුවන් හා ලීග පුහුණුකරුවන් වෙන්දේසියට පෙර හමු වී ක්‍රීඩකයන් සමග පෙර ගිවිසුම් ගසාගෙන වෙන්දේසියට පැමිණ තිබෙනවා.



දේශීය තරග වල දස්කම් දැක්වූ ක්‍රීඩකයන් නොසළකා හැර තමන් කළමනාකරණය කරන ක්‍රීඩකයන් වැඩි මුදලකට තෝරා ගැනීමේ වැඩ පිලිවෙලක් මෙම ඒජන්තයන් විසින් සිදුකර තිබෙනවා. 


පැතුම් නිස්සංක මුල් වටයේ කිසිවකු විසින් මිළදී නොගැනීමත් ඉසුරු උදාන වැනි ලෙජන්ඩ් තරග ක්‍රීඩකයකු ඩොලර් ලක්ෂයක් වැනි මුදලකට මිළදී ගැනීමත් මෙම වෙන්දේසියේ තරම හොඳින් ඉස්මතුව පෙනෙනවා.



ඉසුරු උදානගේ මුල් ලංසුව ඩොලර් 30,000 ක්ව තිබියදී එක්වරම ඩොලර් ලක්ෂයකට ( රු.කෝටි තුනකට) ගාල්ල ලීගය විසින් මිළට ගැනීම පුදුම උපදවන කරුණක්. 


මෙහිදී ඉසුරු ලබන එම මුදලින් වැඩි ගණනක් ගාලු ලීගයේ සිටින ක්‍රීඩක කළමනාකරු හා පුහුණුකරුවන් අතර බෙදා හැරෙන බව lankasportnews වෙත වාර්තා වෙනවා. 


තමන් ලීග වලට තෝරා ගැනීමට නම් ඔවුන් ලබන මුදලින් අඩක් හෝ 20% ක් මේ ක්‍රීඩක ඒජන්තයන් ඉල්ලා සිටි බව ක්‍රීඩකයන් කිහිප දෙනකුම අපට පැවසුවා. 


මෙම කුප්‍රකට ක්‍රීඩකයන් සූරා කන ඒජන්තයන් ලෙස ගාල්ල ලීගයේ සිටින අමිල කළුගලගේ, අසංක විජේවර්ධන, ශ්‍යාම් ඉම්පෙට් සිටින බවත් මෙම වෙන්දේසියෙන් ක්‍රීඩකයන්ගෙන් කොමිස් හා අල්ලස් ලෙස කෝට් ගණනක් මොවුන් උපයාගෙන ඇති බවත් වාර්තා වෙනවා. 


බැංකු සේවකයකු වන අමිල කළුගලගේ මේ වන විට ක්‍රීඩකයන් 30 කට වැඩි ගණනකගේ කළමනාකරු ලෙස කටයුතු කරන අතර ඔහුගේ බැංකු ගිණුම් පරීක්ෂා කළහොත් ආදායම් බදු නොගෙවා මොහු උපයා ඇති කෝටි ගණන් මුදල් ගැන සොයා ගත හැකි බව නම හෙළිකිරීමට අකැමැති වූ ක්‍රිකට් ක්‍රීඩකයෙක් අපට පැවසුවා. මොහු හා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඇතැම් ඉහළ නිළධාරින්ද ගණුදෙනු කරන බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා.



අසංක විජේවර්ධන නම් ඒජන්තයා නාමල් රාජපක්ෂ හා හරීන් ප්‍රනාන්දු සමග සමීප සම්බන්ධතා පවත්වන අයකු වන අතර හරින් ප්‍රනාන්දු, මනුෂ නානායක්කාර,සනත් ජයසූරිය, මහාචාර්ය අර්ජුන , ධනුෂ්ක ගුණතිලක, ඉසුරු උදාන, අසාම් අමීන්, උපුල් තරංග,ෆර්වීස් මහරූෆ් යන ගජ මිතුරු සමාගමේ නිත්‍ය සාමාජිකයකුද වනවා. මොවුන් සතියකට වරක් ලක්ෂ ගණන් වියදම් කරමින් සුපිරි සාද පවත්වන බව ප්‍රසිද්ධ කරුණක්.


ශ්‍රී ලංකා කණ්ඩායම තේරීමද බොහෝ විට සිදු කෙරෙනුයේ මෙම සුපිරි සාද අතරතුර බවයි lankasportnews වෙත වාර්තා වන්නේ. 


ක්‍රිකට් පරිපාලනය දූෂිත බවට මුළු පාර්ලිමේන්තුවම ඒකමතිකව තීරණය කළත් සාගල රත්නායක විසින් කෝටි ගණනක ජරාව කා ජනාධිපතිවරයාවද ඇන්දවීම හේතුවෙන් ඔහුද ක්‍රිකට් ක්‍රීඩාවේ මේ මහා පරිමාණ ගසා කෑම් නොදැක්කා සේ සිටිනවා.


මෙම ලීගයේ ප්‍රධාන මහ මොළකරු හා හොර දෙටුවා වනුයේ අනිල් මොහාන් ය. පටන් ගත් දා සිට ලංකා ප්‍රිමියර් ලීගයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ ඩුබායිහි පදිංචි මෙම ඉන්දීය ජාතිකයාය. ඔහු ශ්‍රී ලංකා කාන්තාවක් සමග නීති විරෝධී දෙවෙනි කසාදයක් කර ගෙන සුපිරි හෝටලයක නවාතැන් ගෙන සිටින අතර මාධ්‍යවේදීන් කිහිප දෙනකුම තම පඩි ලැයිස්තුවට ඇතුළත් කරගෙන සිටී. ඔහු වෙනුවෙන් මාධ්‍ය නිවේදන නිකුත් කරන්නේද අසාම් අමීන් නම් මාධ්‍යවේදියාය.

මොහුව ක්‍රිකට් පාලක මණ්ඩලයට හා ෂම්මි සිල්වාට හඳුන්වා දී ඇත්තේ තවත් ක්‍රිකට් ගුල්ලකු වන රොෂාන් අබේසිංහයි. මේ හේතුවෙන් ඔහු කවදත් ලංකා ප්‍රිමියර්ලීගයේ කුමක් හෝ තනතුරක ඉන්නවා.



මෙම ලීගයේ බොහෝ දූෂණ හා වංචා වලට වගකිව යුතු අනිල් මොහාන් අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කළහොත් මෙහි අභ්‍යන්තරයේ ඇති බොහෝ දේ හා කොමිස් කාක්කන් ඇතුළු තෝරුන් හා මෝරුන් සොයා ගත හැකිය.


මෙතෙක් හෙළිදරව් වූයේ දඹුල්ල ගැන පමණක් වුවද ගාලු ලීගය මීටත් වඩා දූෂිත බව බොහෝ දෙනාගේ මතයයි. අනෙක් කණ්ඩායම්ද ඊට දෙවෙනි නොවන බවත් හරි නම් මෙම දූෂිත ලීගය වහාම තහනම් කළ යුතු බවත් සැබෑ ක්‍රිකට් ප්‍රේමීන් රැසක් අප සමග පැවසුවා.



No comments:

Post a Comment