• Breaking News

    සචිත්‍ර මාට්ටු වෙද්දී අයිසීසියේ දැළට තෝරු මෝරුත් අහු වෙන ලකුණු


    අයිසීසියේ දූෂණ මර්ධන ඒකකයේ ලොක්කා හදිසියේ ලංකාවට එන බව මුලින්ම කීවේ lankasportnews ය. මාෂල් ලොක්කාගේ මෙවර ගමන තුළ ප්‍රබල ක්‍රීඩකයකු අත් අඩංගුවට ගැනීමටද නියමිත බව අප එහිදී හෙළිදරව් කළා.


    එය ඇත්තක් කරමින් නීතිපති වරයාගෙන්ද ලබාගත් උපදෙස් මත අපරාධ නීතිය යටතේ අද හෙටම සචිත්‍ර සේනානායක අත් අඩංගුවට ගැනීමට නියමිතයි. සචිත්‍රට විදෙස් ගත වීම තහනම් කරමින් අද කොළඹ මහෙස්ත්‍රාත්වරයා අධිකරණ නියෝගයක්ද ලබා දුන්නා.

    සචිත්‍ර ඩුබායි සිට කතා කරමින් එක් ක්‍රීඩකයකුට බුකි කරුවන් කිහිප දෙනකු හඳුන්වා දීමට තැත් කර තිබෙනවා. මේ ක්‍රීඩකයා සචිත්‍ර සමග එස්.එස්.සී පිලේ එකට ක්‍රීඩා කළ අයෙක්.

    එස්.එස්.සී පිලේම සචිත්‍ර සමග හිත හොඳින් නොසිටින්නෙකු වන ධම්මික ප්‍රසාද් විසින් ලබා දුන් උපදෙස් මත එම ක්‍රීඩකයා මේ බව අයි.සී.සියට කරන ලද පැමිණිල්ලක් අනුව ඔවුන් විසින් සචිත්‍රව ප්‍රශ්න කර ඇත්තේ මීට වසර දෙකකට කලින්.

    එහිදී සචිත්‍රගෙන් අයි සී.සිය ලබා ගෙන ඇති ජංගම දුරකථන දෙකම ඔහුගේ නියම ජංගම දුරකථනය නොවන බවට ඔවුන් තහවුරු කරගෙන තිබෙනවා.

    අයි.සී.සිය විසින් පිළි නොගන්නා තරගාවලි වලට සචිත්‍ර ඇතුළු තවත් හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිප දෙනකුම සහභාගි වී තිබෙන අතර ඔවුන් සියලු දෙනා සචිත්‍ර සමග මෙවර ගාලු පිල සමග සම්බන්ධ වී සිටින බවත් lankasportnews අප ගවේශනාත්මක වාර්තාකරු පවසනවා.

    ඔවුන් තරග අතරතුර හෝටලයේ මුණ ගැසෙන බවත් ගාලු පිල වෙනුවෙන් සචිත්‍රද කෝටි ගණනක් යොදවා ඇති බවත් වාර්තා වෙනවා.

    මේ අතර ගාලු පිලේ කළමනාකාර අධ්‍යක්ෂ ලෙස නම් කොට කණ්ඩායම සමග සිටින කලක් ක්‍රිකට් බලධාරීන් විවේචනය කළ නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා සචිත්‍රගේ මස්සිනාද වෙනවා.

    මේ බොහෝ සැක කටයුතු ක්‍රීඩකයන් ගැන මීට පෙර වාර්තාවක් අයි.සී.සී. දූෂණ මර්ධන ඒකකය විසින් හිටපු ක්‍රීඩා ඇමතිවරයකුට එවා තිබුණත් ඒ අතර තම හිතවතුන්ද වීම නිසා ඔහු එය යට ගසා තිබුණු බවත් lankasportnews අවධාරනය කරනවා.

    දැන් මාෂල් ලොක්කා මගින් එළියට එන්නේ එම වාර්තාවයි.

    ක්‍රිකට් ආයතනය තුළ දූෂණ මර්ධනයටම පත් කළ නිලධාරින් දෙදෙනකු සිටයත් මේ දක්වා පිං පඩි හා ෆ්‍රී ටුවර් යාම හැරුණු විට මොවුන්ට කිසිදු ක්‍රීඩකයකුගේ තරග පාවා දීමක් අල්ලා ගැනීමට නොහැකි වීමත් අයිසීසියේ අවධානයට ලක්ව තිබෙනවා.

    මීට අමතරව සෑම කණ්ඩායමක් සමගම බෙල්ලේ පාස් එකක් එල්ලාගෙන එක් එක් තනතුරු දරමින් රැඳී සිටින ක්‍රීඩක කළමනාකරුවන් හා ඇතැම් මාධ්‍යවේදීන් ගැනත් සැක පහළ වී තිබෙනවා.

    ජැෆ්නා කිංග්ස් පිල සමග සිටින ජාතික රූපවාහිනියේ තරුණ නිදහස් මාධ්‍යවේදිනියක් පිළිබඳවද අයි සී.සි යේ ඇස යොමුව තිබෙනවා. මැය ඇතැම් ක්‍රීඩකයන් සමග සමීප ඇසුරක් පවත්වන අතර වරක් ආසියානු කුසලාන තරගාවලියකට 1XBet බුකි සමාගම අනුග්‍රහයෙන් ක්‍රිකට් ආයතනයේද ඇස් වසමින් ඩුබායි වෙත ගොස් තිබෙනවා.


    කිසිදු මාධ්‍ය ආයතනයකට තරග වාර්තා නොකර එහි සිටීම ගැන අයි සී.සි ය මගින් ඇයව බ්ලැක් ලිස්ට් කර තිබෙන අතර ක්‍රිකට් ආයතනයෙන්ද මාධ්‍ය හැඳුනුම් පතක් නිකුත් කිරීම තහනම් කර තිබියදීත් ඇය මෙසේ එහි සැරිසරන්නේ ජැෆ්න කිංග්ස් මාධ්‍ය කටයුතු මෙහෙයවන හිටපු රූපවාහිනී බලධාරියකුගේ පිහිටෙන්. මේ නිලධාරියා අයිපීජී සමාගම හා ක්‍රිකට් ආයතනය සමග විකාශන අයිතිය පිළිබඳ ගිවිසුමේද අතරමැදියෙක් වෙනවා.

    ලංකා ප්‍රිමියර් ලීගයේ (LPL) මෙවන් හෙළි නොවුනු තවත් තොරතුරු ඉදිරියේදී lankasportnews වෙතින් බලාපොරොත්තු වන්න.



    No comments