• Breaking News

    ඇමතිත් අර්ජුනත් ක්‍රීඩා පනත මුලින් කියවල බැලුව නම් නරකද?


    රොෂාන් රණසිංහ ක්‍රීඩා ඇමති වූයේ කෙසේදැයි අපි නොදනිමු. එහෙත් ඔහු නාමල් ගේ ගජ මිතුරෙකු වන බව නම් බොහෝ දෙනා දන්නා දෙයකි. ජපානයේ පැවති පසුගිය ඔලිම්පික් උළෙලටද ඔහු නාමල් සමග ජපන් ගියේය. ජපානයත් සමග බිස්නස් සම්බන්ධතා ඇති රොෂාන් එම සංචාරය සඳහා නාමල්ටද අනුග්‍රහය ලබා දුන් බව ඒ දිනවල නාමල් කීවේය. ඒ තමන් ක්‍රීඩා අමාත්‍යාංශයේ මුදල් වලින් විදෙස් සංචාර නොයන බව පෙන්වන්නටය.



    කෙසේ වෙතත් මේ වන විට රොෂාන් හා නාමල් අතර මුල පැවති සුහදතාව දැන් නොමැති බවයි කියවෙන්නේ. ජාතික ක්‍රීඩා සභාවේ නාමල් පත් කළ සභාපති වූයේ මහේල ජයවර්ධනය. SSC ක්‍ර්‍රීඩා සමාජයට අවුරුදු 20 දී මහේලව රැගෙන ආවේ අර්ජුනය. එවකට අර්ජුන පූර්ණ බලැති ටෙස්ට් ක්‍රිකට් නායකයාය. ප්‍රමෝදය පවා ඒ කාලයේ අර්ජුනගේ සුවච කීකරු බලු පැටියෙක් මෙන් SSC පිලේ ක්‍රීඩා කළේය.

    එහෙත් අද මේ දෙන්නාම අර්ජුන සමග හොඳ නැත.

    වෙනකක් තබා පසුගියදා පැවති SSC ක්‍රීඩා සමාජ නිලවරණයේදී පවා එහි විධායක සභාවට තරග කළ අර්ජුනට එරෙහිව මහේල හීන් නූලෙන් වැඩ කළේය. කරුණු මෙසේ තිබියදී නාමල්ගේද බෙස්ට් ෆ්‍රෙන්ඩ් රොෂාන්, මහින්ද හැර සෙසු රාජපක්ෂ විරෝධියකු වන අර්ජුනව ක්‍රීඩා සභාවේ සභාපති ධුරයට පත්කළේය. අර්ජුනව එතනට නිර්දේශ කළේ රනිල් බව සමහරු කියති.

    කෙසේ වෙතත් අර්ජුන ක්‍රීඩා සභාවට ඒම ෂම්මි ඇතුළු ක්‍රිකට් විධායක සභාවට නම් හොඳ ආරංචියක් නොවීය. අර්ජුන පත්වීම ගත් දාම ක්‍රිකට් පරිපාලනයට දෝස්මුරයක් දමද්දී ක්‍රීඩා ඇමතිවරයාද එයට පෝර දමා දුන්නේය. ආසියානු කුසලාන තරගාවලිය ලංකාවේ නොතියා ඩුබායි වෙත ගෙන යන්නට සැලැස්වූයේ අපේම ක්‍රිකට් නිලධාරින් බව එම චෝදනාව විය. ආසියානු ක්‍රිකට් තරගාවලිය සංවිධානය කරන්නේ ආසියානු ක්‍රිකට් කවුන්සිලයයි. එනිසා එහි තීරණ ගනු ලබන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය නොව ආසියානු ක්‍රිකට් කවුන්සිලය බව ක්‍රීඩා ඇමතිවරයාට කිසිවකු කියා දී නොමැති බව පෙනේ.

    එහෙත් අවශ්‍ය නම් මෙම තරගාවලිය මෙහෙන් ලිස්සා යැවීමේ ක්‍රම සහ විධි ඇත්තේය. අයථා ගනුදෙනුවකින් එය සිදුව ඇතැයි ක්‍රීඩා ඇමතිවරයාට හෝඩුවාවක් ලැබී ඇතැයිද කියවේ. එය ඇත්තක් නම් ඒ ගැන වහාම සොයා බැලිය යුතුය.


    කෙසේ වෙතත් ජාතික ක්‍රීඩා සභාව හා එහි බලතල මොනවාදැයි ක්‍රීඩා ඇමතිවරයාවත් අර්ජුනවත් තවමත් හරිහැටි අවබෝධ කරගෙන නොමැති බවක් පෙනී යයි.

    වහසි බස් දොඩන්නට පෙර දෙන්නාම ක්‍රීඩා පනත් යළි කියවා සිටින්නේ නම් හොඳය.

    සංශෝධනය කරන්නට ඇවිත් අවුරුදු එකහමාරක් තිස්සේ මහේලලා අත ගගා සිටි ක්‍රීඩා පනතේ කළ යුතු වෙනස් කම් මොනවාදැයි ක්‍රීඩා ඇමතිවරයාටත් අර්ජුන රණතුංගටත් එවිට තේරුම් ගත හැකි වනු ඇත.


    - කියුරේටර් -



    No comments