• Breaking News

    පාසල් බැඩ්මින්ටන් නිලවරණය විගණනයෙන් තොරව පවත්වන්න යයි


    ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ සංගම් වල එල්ලී සිටින කූඩැල්ලන් ගැන වරින් වර lankasportsnews මගින් හෙළිදරව් කළේ ඔවුන්ගෙන් ක්‍රීඩකයන් හා ක්‍රීඩාව බේරා ගැනීමේ අදහසින්.


    අපේ රටේ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වල බොහෝ විට කරන්නේ මේ කූඩැල්ලන් ඔසවා තැබීමයි.

    ඒ කොන්දක් ඇති ක්‍රීඩා මාධ්‍යවේදීන් සිටින්නේ අතලොස්සක් නිසයි.

    පාසල් බැඩ්මින්ටන් සංගමය අරා සිටින එහි ලේකම් සමන් විජේසිංහත් මෙවැනි කූඩැල්ලෙක්.

    ඔහු දිවයින පුරා පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැඳුනුම් පතක් සකස් කොට එයිනුත් ලක්ෂ ගණනක් හම්බ කර තිබෙනවා.
    ඒ සඳහා මොහු කිසිවකුට රිසිට් පතක් නිකුත් නොකිරීම විශේෂත්වයක්.

    බැඩ්මින්ටන් සංගමයේත් තරගාවලි සංවිධානයට අධ්‍යක්ෂවරයකු ලෙස අනිවාර්යයෙන් එක් වන මොහුට ඉනුත් හොඳ හොද්දක් බෙදා ගැනීමට බැඩ්මින්ටන් සංගමයත් ඉඩ දී තිබෙනවා. මෙවර බැඩ්මින්ටන් ජාතික ශූරතාවට බැඩ්මින්ටන් සංගමය රුපියල් ලක්ෂ සියයක් වියදම් කර තිබෙනවා.

    පාසලක ක්‍රීඩා උපදේශක වරයකු ලෙස කටයුතු කරන ගමන් පාසල් හතරක පුහුණුකරුවකු ලෙසද කටයුතු කරන මොහුට ඒ නිසා පාසල් සංගමයේ නිලයක් දැරිය නොහැකි වුවත් වසර තුනක් මුළුල්ලේ වාර්ෂිකව ගිණුම් විගනනය නොකොට පවත්වාගෙන ඒම ගැන පාසල් ක්‍රීඩා බලධාරීන්ද මුණිවත රකින්නේ ඔවුන්ටද මොහු දොළ පිදේනි දෙන නිසයි.

    පාසල් තරගාවලි සංවිධානය කරද්දී මොහු තරග සටහන් පිළියෙල කරන්නේද මොහු පුහුණු කරන පාසල් වල ක්‍රීඩකයන්ට පහසුවෙන් අවසන් වටයට එන්න පුළුවන් විදියටයි.

    පාසල් බැඩ්මින්ටන් සංගමයට රිංගන විට කැඩුණු මෝටර් සයිකලයකින් ගමන් බිමන් ගිය මොහු දැන් මෝටර් රථයක් හා අලුත්ම වෑන් රථයක අයිතිකරුවෙක් බවට පත්ව තිබෙනවා.

    විරුද්ධ පාර්ශ්වයට දැඩි ලොල් කමක් දක්වන මොහු පෙබරවාරි 2 දා පැවැත්වෙන පාසල් බැඩ්මින්ටන් සංගමයේ ලේකම් ධූරයට තමන් වෙනුවට විශේෂ හිතවත් කමක් ඇති ගුරුවරියක් ඉදිරිපත් කිරීමට සූදානම් වෙනවා.

    මෙවර නිලවරණයද දන්වා ඇත්තේ තමන්ට පක්ෂපාතී පාසල් නිලධාරීන් සිටින පාසල් වලට පමණක් බවත් පාසල් ක්‍රීඩා සභාව මොහුගේ තක්කඩි කම් වලට සහාය දෙන බවත් පාසල් ගුරුවරයෙක් lankasportsnews වෙත දන්වා සිටියා.

    ක්‍රීඩා අමාත්‍යංශය යටතේ පවතින ක්‍රීඩා සංගම් මෙන්ම පාසල් ක්‍රීඩා සභාවේ අධීක්ෂණය ඇතිව පවත්වාගෙන යන පාසල් ක්‍රීඩා සංගම් වල තත්වයත් මෙසේ නම් ඒවායේ රජ කරන්නේ පල් හොරු නම් ලංකාවේ ක්‍රීඩා වලට යන කලදසාව ගැන කවර කතාද?



    No comments