ජේෂ්ඨ ගුවන්විදුලි මාධ්‍යවේදී හේමජිත් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි
ජේෂ්ඨ ගුවන්විදුලි මාධ්‍යවේදියෙකු හා ක්‍රිකට් විස්තර විචාරකයෙකු ලෙස දශක ගණනාවක් කටයුතු කළ හේමජිත් ප්‍රනාන්දු (76) අද (2021.12.19) සන්ධ්‍යාවේ අභාවප්‍රාප්ත වුණා.
1945 අප්‍රේල් 19 වැනිදා උපත ලැබූ හේමජිත් ප්‍රනාන්දු මහතා කොළඹ නාලන්දා විදුහලෙන් අධ්‍යාපනය නිමකිරීමෙන් අනතුරුවයි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සහන නිවේදකවරයෙකු ලෙස සේවයට එක්ව තිබෙන්නේ.
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය හා වෙළෙඳ සේවයේ මැදිරි නිවේදකයෙකු ලෙස මෙන්ම, විවිධ විෂය ක්ෂේත්රයන් ඔස්සේ වැඩසටහන් ගණනාවක් ඉදිරිපත් කළ හේමජිත් ප්‍රනාන්දු , නිවේදකයෙක්, වැඩසටහන් නිෂ්පාදකවරයෙක් සහ ක්‍රිකට් විස්තර විචාරකයකු ලෙස කැපී පෙනෙන හැකියාවන් පෙන්නුම් කළ අයෙක්.
1980 වසරේ පෙබරවාරි තුන් වෙනිදා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ පළමු ප්‍රාදේශීය ගුවන් විදුලි සේවය ලෙස "රුහුණු සේවය" ආරම්භ කරද්දී එහි පළමු නිවේදකවරයා ලෙස කටයුතුළේද හේමජිත් ප්රනාන්දුයි.
ගුවන්විදුලි ක්‍රීඩා විස්තර විචාරකයෙකු ලෙස බොහෝ ක්‍රීඩා උළෙලවල් සජීවකරණ කළ හේමජිත් ප්‍රනාන්දු එවක පැවති "මහවැලි ක්‍රීඩා' උළෙලවල්,ජාතික ක්‍රීඩා උළෙලවල් මෙන්ම "යොවුන්පුරය" වැඩසටහන් ඉදිරිපත් කිරීමේදී සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ අයෙක්.
1980 දශකය මැද භාගයේදී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව කාල්ටන් සෙනෙවිරත්නගේ ප්‍රධානත්වයෙන් "ගුවන්විදුලි ක්‍රීඩා අංශය" බිහි කරද්දී , එහි නිවේදකවරයෙක් හා නිෂ්පාදකවරයෙක් ලෙස හේමජිත් ප්‍රනාන්දු ඊට සිය දායකත්වය ලබා දුන්නා.
ක්‍රිකට් තරග විස්තර විචාරයට අමතරව දිවයින පුරා පැවති බොහෝ ක්‍රීඩා තරගාවලි ආවරණය කරමින්, ග්‍රාමීය මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික තලයට රැගෙන ඒම සඳහා හේමජිත් ප්‍රනාන්දු දැක්වූයේ සුවිශේෂී මෙහෙවරක්.
හේමජිත් ප්‍රනාන්දුගේ මාධ්‍ය මෙහෙවර අගය කරමින් පසුගිය නොවැම්බර් තුන් වෙනිදා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් එතුමන්ව "කලා භූෂණ" සම්මානයෙන් පවා පුදනු ලැබුවා.
ගුවන්විදුලි මාධ්‍ය ඔස්සේ ක්‍රීඩාවට අනූපමේය මෙහෙවරක් ඉටුකළ හේමජිත් ප්‍රනාන්දුට, Lankasportsnews අපේ ගෞරවනීය උත්තමාචාරය.....
No comments