• Breaking News

    ඇමති නාමල්ව නිදිකරවා මඩිය තර කර ගැනීමට ටොම් මූඩිව ගෙන්වයි ? Exclusive Exposed


    හොද නරක ගැන අවබෝධයක් නැති පොඩි දරුවන් වරදක් කළ විට වැඩිහිටියන් ඔවුන්ව හදුන්වන්නේ හය හතර නොතේරෙන දරුවනේ කියායි. බොහෝ දෙනෙක් හය හතර කියන්නේ කුමක්දැයි නොදනී. මෙහි හය යනු දිව්‍යලෝක හය හා හතර යනු අපායවල් හතරයි. රටේ අවාසනාවට ක්‍රීඩා අමාත්‍යවරයා බවට පත්ව ඇත්තේත් එවන් නොදරුවෙක් දැයි සිතෙමින් තිබේ. ඒ කමිටු දමා ක්‍රිකට් ගොඩ ගත නොහැකි අපායට ඇද වැටීමට ඉඩදී ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සුව නින්දක සීටීම හේතුවෙනුයි. මීට පෙර Lankasportsnews අප අනාවරණය කළ පරිදිම ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙස ටොම් මූඩිව අද (මාර්තු 01 වැනිදා) සිට පත් කර තිබෙනවා. එලෙස පය බරවාවට පිටිකර බෙහෙත් බැදීම පිටුපස ඇති අත යට ගණුදෙනු වටා අද කතාව ගොඩ නැගෙනවා.


    ඕස්ට්‍රේලියා ජාතික ටොම් මූඩි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම් ගත වන්නේ වසරටම දින 100 ක සේවයක් ලබා දීම සදහායි. එලෙස වසර තුනක කාලයක් ඔහු මෙරට සේවය කිරීම වෙනුවෙන් මසකට ඇමරිකා ඩොලර් 30,000 බැගින් එනම් ශ්‍රී ලංකා රුපියල් 5833314.00 මුදලක් ලබාදීමට ගිවිසුම් ගතව තිබෙනවා. එහෙත් ශ්‍රී ලංකාවට ලෝක කුසලානය දිනා ගැනීමට කැපවූ, පසුව මෙරට වේග පන්දු යවන්නන් වෙනුවෙන් වෙහෙස මහන්සි වූ චමින්ද වාස්ට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරගාවලියේ පර්ඩියම් (Per diem) එක ලෙස ඇමරිකා ඩොලර් 350  ගෙවීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කළා. පාර්ලිමේන්තුවේදී මේ පිලිබද ප්‍රශ්න කළ විට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ද්‍රෝහියෙක් ලෙස හැගෙන ලෙස චමින්ද වාස්ව හංවඩු ගසනු ලැබුවා. එහිදී ක්‍රීඩාවේ ලබාදෙන දෛනික දීමනාව හදුන්වන්නේ පර්ඩියම් (Per diem) ලෙස බව නොදැන ක්‍රීඩා අමාත්‍ය නාමල් ඇදගෙන නෑවා. ඒ පිලිබද සවිස්තරාත්මක තොරතුරු ඇතුලත් Lankasportsnews අප අනාවරණය හා වීඩියෝව පහත දැක්වෙනවා.


    ක්‍රීඩා ඇමති නාමල් නොදන්නා ක්‍රීඩාවේ දෙන පර්ඩියම් - Exclusive Exposed


     

    මේ අතර චමින්ද වාස්ව දොට්ට දැමීම සාධාරණීකරණය කරමින් ක්‍රිකට් ආයතනය පැවසුවේ ගෝලීය ආර්ථික අර්බුදය හේතුවෙන් ඉල්ලා සිටි මුදල අසාධාරණ බවයි. වාස් ක්‍රිකට් තරගාවලියකට පමණක් ඉල්ලා සිටි සොච්චම් මුදල ප්‍රතික්ෂේප කර අරවින්ද ද සිල්වා ප්‍රමුඛ ක්‍රිකට් තාක්ෂණ කමිටුවේ නිර්දේශයට මූඩිව ගෙන එන බව කියන්නේ ඉන් ක්‍රිකට් යලි ගොඩ යනු ඇතැයි පෙන්වා දෙමිනුයි. වසරේ මාස තුනක් පමණක් ලංකාවේ අධ්‍යක්ෂ ලෙස සේවය කරන මූඩි මාස 06 ක් ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ සන්‍ රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ අධ්‍යක්ෂ ලෙසත් තව මාස තුනක් කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) තරගාවලියේ අධ්‍යක්ෂ ලෙසත් කටයුතු කරනවා. මසකට රුපියල් ලක්ෂ 58 කට අධික වැටුපක් ගෙවා මාස තුනකින් මෙරට ක්‍රිකට් ජයග්‍රාහී මාවතට ගෙන ඒමට සිහින මැවීම ඉබ්බාගෙන් පිහාටු ඉල්ලීමකට වඩා දෙයක් නොවේ. ඉන්දීය ප්‍රිමියර් ලීග් IPL හයිද්‍රාබාද් කණ්ඩායමේ අධ්‍යක්ෂ මූඩිව ගෙන ඒම පිටුපස සිටින්නේ එම කණ්ඩායමේ සහය පුහුණුකරු හා තාක්ෂණ කමිටු සාමාජික මුත්තයියා මුරලිදරන්ගේ අත යට කතාව Lankasportsnews අප මෙලෙස අනාවරණය කළා.


    මූඩිට කිරි වාස්ට කැකිරි ඇමතිත් නිදි - Exclusive Exposed


    මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය කාලයේ සිදුකළ කිසිදු සැලසුමක් නැති පුහුණුකරුවන් පත් කිරීම හා අති විශාල මුදල් නාස්තියකින් පසු ඉවත් කිරීම ගැන කතා නොකරම බැහැ. මීට කලකට පෙර අපේ ක්‍රිකට් හදන්න රිපෝට් එකක් දෙන්න කියා ගෙන්වූ හරූන් ලොගාට් ටද කෝටි එකහමාරක් ගෙව්වත් එයටද වුණු දෙයක් නැහැ. වරක් ඕස්ට්‍රේලියාවේ සිටි අසංක ගුරුසිංහව ගෙන්වා තේරීම් කමිටුවට හා කණ්ඩායම් කළමණාකරු ලෙස පත් කළා. එහිදී ඔහු අසාර්ථක වීමත් සමග කෙත්තාරාමයේ උසස් කාර්යය සාධන මධ්‍යස්ථානයේ ප්‍රධානියා බවට පත් කළා. එයත් අසාර්ථක වීමෙන් පසු නැවත ඕස්ට්‍රේලියාවට ඔහු ගියේ අති විශාල මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් උපයා ගැනීමට පසුවයි. එමෙන්ම බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහව නොවටිනා මුදලකට එනම් මාසිකව රුපියල් ලක්ෂ 80 කට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස බඳවා ගත්තා. ඔහුගේ ගිවිසුම අවසන් වීමට පෙර නිසි ක්‍රමවේදයට ඉවත් නොකිරීම හේතුවෙන් මේ වන විට ජාත්‍යන්තර අධිකරණ නඩුවක් ගොනුකර තිබෙනවා. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට රුපියල් ලක්ෂ 200 කට අධික මුදලක් වැය කර අවසන්. පසුගියදා කෝප් කමිටුවේදී මේ පිලිබද ප්‍රශ්න කිරීමේ වීඩියෝව පහත දැක්වෙනවා.

     

    කෙසේ වෙතත් මේ අතරට අරවින්ද ද සිල්වාගේම නිර්දේශයට උසස් කාර්යය සාධන මධ්‍යස්ථාන ප්‍රධානියා ලෙස සයිමන් විල්ස්ව ගෙන්වා ගත් බවත් මතක් කළ යුතුයි. ඒ වෙනුවෙන් අති විශාල මුදලක් වැය කර කිසිදු වැඩක් නොවීම නිසා ඔහුවත් නෙරපුවා. අරවින්ද කෙන්ට් ප්‍රාන්තයේ ක්‍රිකට් ක්‍රීඩා කළ සමයේ ඔහුගේ රියදුරා හා කෝකියා වූයේ සයිමන් විල්ස් බව ප්‍රසිද්ධ රහසක්. එවන් අරවින්දට ක්‍රිකට් තාක්ෂණ කමිටුව භාර දීම පනින රිලවුන්ට ඉනිමං බැඳීමක් වී තිබෙනවා. අරවින්ද ද සිල්වා ප්‍රමුඛ මුරලිදරන් හා රොෂාන් මහානාම මෙන්ම ජාතික ක්‍රීඩා සභාවේ පුටු රත් කරන සභාපති මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර ඔවුන්ගේ හෙන්චයියන්ගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පුරවන දවස වැඩි ඈතක නොවේ. ඉතින් මහේල හා සංගක්කාරගේ කළමණාකරු චාලි ඔස්ටින්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත් කිරීමට නිර්දේශ කළහොත් පුදුම වීමට දෙයක් නැහැ. හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය පවා දුන් බවට සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයට පසු මහේල හා සංගක්කාර මෙන්ම එවක තේරීම් කමිටු සභාපති වූ අරවින්දගෙන් ක්‍රීඩාවේ වැරදි වැලැක්වීමේ පොලිස් පරීක්ෂණ ඒකකය ප්‍රශ්න කළා. තව බොහෝ දෙනෙක්ගෙන්ද සිදුකළ ප්‍රශ්න කිරීම් වලට පසු එම ගොනුව නීතිපතිවරයා වෙත භාර දී තිබෙනවා. එහිදී ඇඟිල්ල දිගුවූ අප නම් සදහන් කළ ප්‍රධාන චරිත මේ වන විට ක්‍රීඩාවේ ඉහළම තනතුරු දරණවා. එහෙත් නීතිපතිට ගිය එම පොලිස් පරීක්ෂණ හමස් පෙට්ටියේ තිබෙද්දී එම චෝදනා සත්‍ය බව හිටපු නායක අර්ජුන රණතුංග පසුගියදා යලි කියා සිටි වීඩියෝව පහත දැක්වෙනවා.

     

    ටොම් මූඩි ඇවිත් කරන්න යන්නේ අනාගත සංචාරක වැඩසටහන් විශ්ලේෂණය කිරීම, දේශීය තරගාවලියේ ව්‍යුහය, ක්‍රීඩක සුභසාධනය, අධ්‍යාපනය සහ නිපුණතා සංවර්ධනය, පුහුණු සහ සහායක කාර්යය මණ්ඩලයේ ව්‍යුහය මෙන්ම ඉහළ කාර්යය සාධන සහ දත්ත විශ්ලේෂණයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. දින 100 කදී මෙවන් වැඩ කොටසක් සාර්ථකව කිරීමට නම් ඔහු කතරගම දෙවියන් මෙන් විය යුතුයි. කන්න ඕන වන විට කබරගොයත් තලගොයා කර ගැනීම පිටුපස, අති විශාල කොමිස් කුට්ටි දොලපිදේනියක් ඇති බවයි Lankasportsnews අප වෙත වාර්තා වෙන්නේ. පසුගිය කාලයේ ගෙනා විදෙස් පුහුණුකරුවන් මෙම කොමිස් ගණුදෙනුවල ප්‍රතිඵලයක් බව වැඩිදුරටත් අප වෙත වාර්තා වනවා. මෙරට පුහුණුකරුවන් හෝ නිලධාරීන් බඳවා ගැනීම සිදු වන්නේ වසරක කොන්ත්‍රාත් කාලයක් සදහායි. එහෙත් වාස් වැනි දේශීය පුහුණුකරුවන්ට පොඩි හැන්දකින් බෙදා මෙම සුද්දන්ට හැන්ද මාරු කර සවලකින් බෙදීම පිටුපස ඇත්තේ මෙම කොමිස් කුට්ටි හුවමාරුවයි.


    ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ කමිටු අච්චාරුවක් සාදා මෙරට ක්‍රීඩාව දියුණු වීමේ සිහින දැකීමට යලි කුම්බකරණ නින්දකට වැටී තිබෙනවා. ඒ මහේල හා සංගා මෙන්ම අරවින්ද, මහානාම හා මුරලිදරන් ගැසූ පදේට නඩා ශම්මි ප්‍රමුඛ ක්‍රිකට් ලොක්කන් රැකීමේ නින්දටයි. මේ හේතුවෙන් ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කිරීමට අභියාචනාධිකරණ පිහිට පැතීමට සිදුවුණා. එම නඩුව ලබන 15 වැනිදා යලි විභාග කරන අතර ක්‍රිකට් ලොක්කන්ව රෙදි ගැලවීමට කෝප් කමිටුවටත් මෙම මාසයේදීම කැඳවීමට නියමිතයි. කෝප් කමිටුවේ හිටපු සභාපති සුනිල් හදුන්නෙත්ති මෙන්ම වත්මන් සභාපති චරිත හේරත් ක්‍රිකට් දූෂණ අනාවරණය කිරීමට මේ වන විට කටයුතු කරමින් ඇත්තේ රටේ ගෞරවය දිනා ගනිමිනුයි. එවන් ගෞරවයක් ක්‍රිකට් යලි ජයග්‍රාහී මාවතට ගෙන ගොස් ක්‍රීඩාවෙන් බබලන රටක් කිරීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ අනගි අවස්ථාවක් උදාවී තිබෙනවා. බාප්පා ජනාධිපති හා තාත්තා අගමැති ලෙස බලයේ සිටියදී පළමු අමාත්‍යාංශය ලෙස ක්‍රීඩා භාර දෙන්නට ඇත්තේත් නාමල්ට නමක් හදා ගෙන ජනතාව අතරට යාමටයි. එහෙත් එය ඉටු කර ගැනීමට නොහැකිව ඇත්තේ අනුන්ගේ පදේට නටන රූකඩයක් බවට පත්වීමට යාමෙන් බව සටහන් කරන්නේ සාතිශය සංවේගයෙන් යුතුවයි.






    No comments