රවින්ගේ LPL ක්‍රිකට් සල්ලි කෝටි 13.65ක් පිල්ලි ගිහින්
ආඩි හත් දෙනාගේ කැද හැලිය ගැන ඔබ අසා ඇති. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ලංකා ප්‍රිමියර් ලීග් (LPL 2020) ක්‍රිකට් තරගාවලියේදී සිදුව ඇත්තේත් එයමයි. මෙම තරගාවලිය පැවැත්වීමට පෙර ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ අඬබෙර ගසා කියා සිටියේ ක්‍රීඩා ආර්ථිකය මෙතැන් සිට ආරම්භ කරන බවයි. එහෙත් එය මේ වන විට අන්ධයා අලියාගේ හැටි කිව්වාක් මෙන් වී තිබෙනවා. ලංකා ප්‍රිමියර් ලීග් (LPL 2020) ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හිමිවිය යුතු රුපියල් 136,506,790.00 ක් හෙවත් කෝටි 13.65 කට අධික මුදලක් මෙතෙක් ගෙවා නැති කතාව මෙතැන් සිට පෙල ගැස්වෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පන්දුවාර විස්සයි විස්ස ආකෘතියේ ලංකා ප්‍රිමියර් ලීග් (LPL 2020) ක්‍රිකට් තරගාවලිය පසුගිය වසරේ නොවැම්බර් මස 26 වැනිදා සිට දෙසැම්බර් මස 16 වැනිදා දක්වා හම්බන්තොටදී පැවැත්වූවා. ඒ වසර ගණනක් තිස්සේ ප්‍රමාද කිරීම් රැසකට පසුවයි. මෙම තරගාවලියේ අධ්යක්ෂ ලෙස පෙනී සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන උප සභාපති රවීන් වික්රමරත්නයි. ඔහු දේශීය ක්‍රිකට් තරග පවා පාවාදීමේ වැරදිකරුවෙක් ලෙස ක්‍රීඩා අමාත්‍යාංශයේ වාර්තාවක සදහන් අයෙක් බව ඔබට මතක ඇති. මේ අතර කොරෝනා හේතුවෙන් මෙම තරගාවලියට එනවා කියූ බොහෝ විදෙස් ක්‍රීඩකයින් නොපැමිණි අතර මෙරට ප්රමුඛ විස්සයි විස්ස ක්‍රීඩක ලසිත් මාලිංග පවා ඊට එක්වූයේ නැහැ. කෙසේ වෙතත් මෙම තරගාවලියේ හිමිකාරීත්වය ඩුබායි කේන්ද්‍ර කර ගත් IPG ආයතනය හිමිකර ගත්තා. වසර 5 ක ගිවිසුමට අනුව ඔවුන් තරගාවලියේ සියලු වගකීම් ලබා ගත් අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැපයිය යුතු වුණේ ක්‍රීඩාංගණ හා තරග නිලධාරීන් පමණයි. මේ අනුව IPG ආයතනය පළමු වසර දෙක සදහා ඇමරිකා ඩොලර් මිලියන 1.9 බැගින් ගෙවා අනතුරුව සියයට 10 ක වැඩිවීමක් සිදු කිරීමට එකග වුණා.
කෙසේ වෙතත් මෙතෙක් IPG ආයතනය ගිවිසුමට අනුව ගෙවා ඇත්තේ ඇමරිකා ඩොලර් මිලියන 1.2 ක් පමණක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. මේ අනුව ඔවුන් තවත් ඇමරිකා ඩොලර් 700,000 ක මුදලක් හෙවත් රුපියල් 136,506,790.00 ක් නැතහොත් රුපියල් කෝටි 13.65 කට අධික මුදලක් මෙතෙක් ගෙවා නැහැ. මේ පිලිබද විමසූ විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා කියා සිටියේ IPG ආයතනය මෙම තරගාවලිය පැවැත්වීමෙන් ඇමරිකා ඩොලර් මිලියන 3 ක් පාඩු ලබා ඇති බවයි. මේ අතර IPG ආයතනය සිය හිග මුදල් වාරික තුනකින් ගෙවීමට විමසා තිබෙනවා. එම ඉල්ලීම ඉදිරිපත් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු රැස්වීමට සභාපති ශම්මි සිල්වා එක් නොවීම හේතුවෙන් ඊට මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ. ශ්‍රී ලංකා ක්‍රිකට් රූපවාහිනී නිෂ්පාදන භාරව ඇත්තේ ඔවුන් වීම හේතුවෙන් මෙම හිග මුදල එම නිෂ්පාදන සමග ගෙවීමට IPG ආයතනය සූදානම් වනවා.
ක්‍රිකට් ක්‍රීඩකයන් බිලිදෙන ලංකා ප්‍රිමියර් ලීග් අර්බුද රැසක - Exclusive Exposed
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ඔවුන් ලබා ඇති පාඩුව කිය කියා යන්නේ IPG ආයතනය ඉදිරිපත් කළ යෝජනාවට කැමැත්ත පළ කිරීම සදහා බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැහැ. මෙවන් සිදුවීම් වලට පැරැන්නන් කීවේ හොරාට කලින් කෙහෙල් කැන වැට පනිනවා කියයි. හිග මුදල ගැන කතා කළත් ලබා දුන් බව කී මුදල හෝ ලැබී ඇත්දැයි සැක සහිතයි. මෙවන් සැක කටයුතු ගණුදෙනු සදහා කීර්තිමත් ක්‍රිකට් ආයතනය විශේෂ විගණන වාර්තාවකින් එම දූෂණ රැසක් අනාවරණය වූ බව ඔබට මතක ඇති. ඒවා දැඩි ආන්දෝලනයක් ඇතිකළේ සුනිල් හදුන්නෙත්තිගේ සභාපතිත්වයෙන් යුත් කෝප් කමිටුවේදී ප්‍රශ්න කිරීම හේතුවෙනුයි. එහෙත් එම දූෂණ සදහා මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෝ ක්‍රීඩා අමාත්‍යාංශය ගෙන නැහැ. මේ අතර අලුත් කෝප් කමිටුව හමුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලබන 11 වැනිදා යා යුතුයි. එහිදී ලංකා ප්‍රිමියර් ලීග් (LPL 2020) ක්‍රිකට් තරගාවලියේ සිදුව ඇති අක්‍රමිකතා ප්‍රශ්න කෙරුනොත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ රෙද්දත් ගැලවෙනවා. ඒ මෙම තරගාවලිය වර්ණනා කරමින් රටපුරා ගියේ ඔහුවීම නිසයි. ඉතින් මෙම හිග මුදල සමගින් සම්පූර්ණ මුදල නිවැරදිව හිමිව ඇත්දැයි සොයා බැලීම ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සතු ප්‍රධාන වගකීමක් වනවා.
මුදල් නොගෙව්වොත් ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග වර්ජනයක් ? Exclusive Exposed
කරුණු මෙසේ තිබියදී රවින් මෙවරත් උප සභාපති ධූරය සඳහා තරග වදින්න සූදානමින් පසු වෙනවා. Lankasportsnews වෙතින් දිගින් දිගටම රවින්ගේ රෙදි ගැලවීම ගැන භීතියටත් කෝපයටත් පත්ව සිටින අතර ඊයේ මාධ්‍ය ඒකකය කැඳවා ඔවුන්ට හොඳට දෙහි කපා තම ප්‍රතිරූපය මාධ්‍ය ඔස්සේ පුම්බා දෙන ලෙස අණ කර තිබෙනවා. හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාලත් මෙවර රවීන් සමග අමනාපයෙන් පසුවීම ඔහුගේ භීතිය දෙගුණ තෙගුණ කර ඇතැයි වාර්තා වනවා. එහෙත් මෙවරත් ශම්මිගේ ඇගේ එල්ලී ක්‍රිකට් නිලවරණය ජය ගැනීමයි ඔහුගේ එකම පැතුම වී ඇත්තේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය ලබන මැයි 20 වැනිදා පැවැත්වීමට නියමිතයි. මෙවරත් ඊට ඉදිරිපත් නොවී ඉදිරි වසර දෙකේදී ඔහුට පනවා ඇති පාර්ලිමේන්තු සම්මත පනතින් ගැලවීම සදහා සියල්ල සිදුකර අවසානයේ ක්‍රිකට් ආයතනයට පැමිණෙන බව තිලංග සුමතිපාල මේ වන විට ක්‍රීඩා සමාජ වලට කියමින් යන බව Lankasportsnews අප වෙත වාර්තා වනවා. ක්‍රිකට් නිලවරණයේ තිරය පිටුපස සියල්ල සුපුරුදු ලෙස ඔබට ගෙන ඒමට Lankasportsnews අප කටයුතු කරන බව මතක් කිරීමට කැමතියි.
No comments