• Breaking News

    IPL ඈවරයි සංගටත් මහේලටත් ලංකාවේ අය එපා වෙයි - Exclusive Exposed


    ගහෙන් වැටුනු ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ගොනත් ඇන්න වගේ 14 වන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL 2021) පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩකයින් තෝරා ගැනීමේ වෙන්දේසිය නිමා වුණා. මෙවර එහි ඉහළමු පුටු දෙකක් ශ්‍රී ලංකාවට වෙන්ව තිබුණා. ඒ කණ්ඩායමක අධ්‍යක්ෂ හා ප්‍රධාන පුහුණුකරු ලෙසයි. එහෙත් පසුගිය කාලය පුරාම මෙම තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් තෝරා ගැනීම පහත වැටීමේ කූඨප්‍රාප්තිය මෙවර සටහන් වුණා. ඒ අනුව ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL 2021) ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ චෙන්නායි හිදී නිමා වුණේ කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ඇතුලත් නොවීම වටා අද කතාව මෙතැන් සිට ගෙතෙනවා.


    ක්‍රිකට් ක්‍රීඩාවේ පන්දුවාර විස්සයි විස්ස තරග සැනකෙලියක් බවට පත්කළේ ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය බව විවාදයක් නැහැ. ඉන්දීය ක්‍රිකට් ඉහලට ඔසවා තැබීමට සංවිධානය කරන මෙම තරගාවලියට අනෙක් රටවල හොදම පන්දුවාර විස්සයි විස්ස ක්‍රීඩකයින් තෝරා ගන්නවා. ලසිත් මාලිංග මෙම තරගාවලිය නිසා පන්නරය ලැබූ ක්‍රීඩකයෙක්. ඔහුගේ දක්ෂතා නිසාම මෙම තරගාවලිය මෙරට තුලත් වඩා ජනප්‍රිය වූ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩකයින් වැඩි පිරිසකට ඊට එක්වීමටත් දොරටු විවර වුණා. පසුගිය වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති (IPL 2020) තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්වුණේ ඉසුරු උදාන පමණයි. මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL 2021) ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සදහා මෙරට ක්‍රීඩකයි 09 දෙනෙක් ඇතුලත් වුණා. ඒ දසුන් ශානක, කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා, කෙවින් කොත්තිගොඩ, මහේෂ් තීක්ෂණ, විජයකාන්ත් වියශ්කාන්ත්, වනිදු හසරංග, දුෂ්මන්ත චමීර හා ඉසුරු උදානයි. එහෙත් ඔවුන් කිසිවෙකුත් මෙවර ක්‍රීඩක වෙන්දේසියේදී අලෙවි වුණේ නැහැ. පසුගිය ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL 2020) ක්‍රිකට් තරගාවලිය නියෝජනය කළ ඉසුරු උදාන හෝ විස්සයි විස්ස පිටියේ නම් දැරූ තිසර පෙරේරා, දසුන් ශානක මෙන්ම කුසල් ජනිත් පෙරේරාව කිසිදු කණ්ඩායමක් මිලදී නොගැනීම කැපී පෙනෙනවා.


    කෙසේ වෙතත් ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL 2021) ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩකයින් මිලදී ගැනීමට හැකි මෙරට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙක් කණ්ඩායම් දෙකක ප්‍රභලයන් ලෙස කටයුතු කරනවා. පසුගිය (IPL) තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ජයග්‍රහණය වෙත කැදවාගෙන යාමේ ගෞරවය දිනා ගත් පුහුණුකරු මහේල ජයවර්ධන මෙවරත් එහි සිටිනවා. ඔහු මෙරට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂට උපදෙස් දෙමින් ක්‍රීඩාව නගා සිටුවීමට පත්කළ ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයායි. එමෙන්ම එහි සාමාජික කුමාර් සංගක්කාර රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ අධ්‍යක්ෂවරයායි. මෙම වෙන්දේසිය ගැන සංගක්කාර එරට මාධ්‍යට පවසා ඇත්තේ දක්ෂ නවක ඉන්දීය ක්‍රීඩකයින් රැසක් මෙවර කණ්ඩායම් අට සදහා තෝරාගෙන ඇති බවයි. එහෙත් කිසිදු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙක් ඔහු තෝරා නොගත් සේම මහේලත් මෙරට ක්‍රීඩකයින්ට කුඩම්මාගේ සැලකිලි දැක්වීම විශේෂත්වයක් වනවා.


    මේ අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL 2021) ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට ඉන්දීය ක්‍රීඩකයින් 164 දෙනෙක් හා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 09 දෙනාද සමගින් විදෙස් ක්‍රීඩකයින් 128 ක් ඇතුලත්ව සිටියා. ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලි ඉතිහාසයේ නව වාර්තාවක් තබමින් මෙවර සංගක්කාරගේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට විදෙස් ක්‍රීඩක ක්‍රිස්ටෝපර් මොරිස්ව තෝරා ගත්තේ ඉන්දීය රුපියල් කෝටි 16.25 ක මුදලකටයි. එය මෙම තරගාවලියට මෙතෙක් විදෙස් ක්‍රීඩකයෙක් මිලදී ගත් ඉහළම මුදල වනවා. ශ්‍රී ලංකාව පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය 2014 වසරේදී දිනාගත් අතර ඉන් වසර හතක් ගතවන විට බින්දුවෙනුත් පහලට වැටී තිබෙනවා. ඒ බව ක්‍රිකට් ගොඩනැගීමට කියා ක්‍රීඩා අමාත්‍යාංශයේ ඉහළම තැනට පත්ව ඇති මහේල හා සංගා මෙලෙස තහවුරු කළා. ක්‍රිකට් ඉහලට ඔසවා තැබීමට ක්‍රීඩකයින්ට නිර්මාණය කර ගැනීමට කදිම අවස්ථාවක් දිය හැකි මොහොතකත් එය භාවිත නොකිරීම කියන්නේ කටේ බුදු රැස් බොක්කෙ දඩ මස් කියායි. මෙවන් අය සමග හරඹ කරන ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේත් කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරෙන දිනක් උදා නොවනු ඇතැයි කීමට සමත් කිසිවෙක් මෙලොව නැති බව අවසන් ලෙස සටහන් කළ යුතුයි.


    No comments