• Breaking News

    අසන්තව පැන්නූ නාමල්ට රටවල් තුනකින් පැන්නූ මිකී රත්තරන්ද ? Exclusive Exposed


    ඉස්කෝලේ ළමයි විභාගය අසමත් වන විට විදුහල්පතිවරයා නිදහසට කරුණු අහන්නේ පන්තිභාර ගුරුවරයාගෙනුයි. දෙමාපියන් දරුවන්ට දෝෂාරෝපණය කරණවා. පන්තියක දරුවන් කිහිපදෙනෙක් අදක්ෂ වුවත් සියල්ලම විභාගයකින් අසමත් වන්නේ නම් උගන්වන ගුරුවරයා ගැන සොයා බැලිය යුතුමයි. එවිට දරුවන් අසමත් වන්නේ ඉගැන්වීමේ වරදක් නිසා යැයි නිශ්චිතවම තහවුරු කර ගැනීමට හැකි වනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ගත් විටත් තත්වය මෙය බව ඔබට පැහැදිලි ඇති. එහෙත් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්ට වත්මන් පරාජයන් ගැටළුවක් බව පෙනෙන්නට නැහැ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පරාජයන් වෙත තල්ලු කරන මිකීගේ පැටිකිරිය මෙතැන් සිට දිග හැරෙනවා.


    ශ්‍රී ලංකා ක්‍රිකට් පරාජයන්ගේ වරද තනිව තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් වෙත පැටවීම නිසා පසුගියදා ඔහු ඉන් ඉල්ලා අස් වුණා. එහෙත් ඔහු සිදුකළ බොහෝ තේරීම් වැරදි පිටුපස ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් සිටියා. ඔවුන් දෙදෙනා එක්ව තෝරාගත් කණ්ඩායම නායකයාට ඉදිරිපත් කර පසුව ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට ඉදිරිපත් කළා. දැන් අසන්ත ද මෙල් ඉවත් වීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් තරග ජය ගනීද ? එහෙම වීමට නම් ඉර බටහිරින් පායනවා වැනි මහා ආශ්චර්යක් සිදුවිය යුතුයි. දැන් අලුත් තේරීම් කමිටුව නම් කරන කණ්ඩායම පුහුණු කරන්නේ හා සැලසුම් සකසන්නේ පරණ ජොකියා වන මිකීමයි.


    ක්‍රිකට් යෝග්‍යතා පරීක්ෂණය කල් යයි - තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය - Exclusive Exposed


    දකුණු අප්‍රිකාවේදී 1968 වසරේ මැයි 17 වැනිදා උපත ලබන ජෝන් මිචෙල් ආතර් නම් අප කතා නායක මිකී ආතර් එරට දේශීය ක්‍රිකට් පමණක් ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක් වනවා. අහඹු ලෙස 2005 වසරේදී දකුණු අප්‍රිකා ජාතික ක්‍රිකට් පුහුණුකරු ලෙස පත්වන ඔහු 2010 දක්වා එහි කටයුතු කරනවා. අනතුරුව ඉන් ඉවත් කරන ඔහුව 2010 වසරේදීම ඕස්ට්‍රේලියා පළාත් ක්‍රිකට් කණ්ඩායමක ප්‍රධාන පුහුණුකරු වී පසුව එරට ජාතික පුහුණුකරු ලෙස බඳවා ගන්නවා. ඕස්ට්‍රේලියාව 2013 වසරේදී මිකීව ඉවත් කරනවා. එහෙත් එරටින් නොයන ඔහු ඕස්ට්‍රේලියා පාසල් ක්‍රිකට් කණ්ඩායමක පුහුණුකරු ලෙස කටයුතු කරමින් එරට රැදී සිටීමත් සමග 2016 වසරේ ඕස්ට්‍රේලියා පුරවැසිභාවය ලබා ගන්නවා. අනතුරුව එම වසරේදීම පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු බවට පත්ව 2019 අගෝස්තු 07 වැනිදා පන්නා දමන තුරු එහි කටයුතු කරනවා. එම කාලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙරට ප්‍රධාන පුහුණුකරු වූ චන්දික හතුරුසිංහව ඉවත් කර අනාතවී සිටි සමයයි. මේ හේතුවෙන් පාකිස්තානය පැන්නූ මිකීව පාවඩ එලා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණු උපදේශක ලෙස 2019 දෙසැම්බර් 04 බඳවා ගන්නවා.


    හොදනම් රටවල් තුනක් පන්නන්නේ නැති බව අමුතුවෙන් කියන්න ඕන නෑ. එහෙත් ඕනෑම කුණු ගොඩක් ආදරයෙන් වැළඳ ගන්නා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මිකීව ප්‍රධාන පුහුණුකරු බවට පත් කරනවා. මේ වන විට මිකීට නවාතැන් ඇතුළු සියලු පහසුකම් සමග මාසිකව රුපියල් ලක්ෂ 20 කට අධික වැටුපක් ගෙවා ශ්‍රී ලංකා ක්‍රිකට් ලබාගෙන ඇත්තේ අන්ත පරාජයන් පමණයි. ඔහුගේ පුහුණුව යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට ටෙස්ට් ක්‍රිකට් තරග 4 කට මුහුණදී ඒවා සියල්ල කුජීත ලෙස පරාජය වුණා. ඉන් තරග තුනක්ම දින තුනකින් අවසන් වීම කැපී පෙනෙනවා. මෙරට පුහුණුකරු ලෙස ඔහු පැමිණෙන විට පාකිස්තාන සහය පුහුණුකරු ලෙස කටයුතු කළ ග්‍රාන්ට් ෆ්ලවර් කැදවාගෙන ආවේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකරු ලෙසයි. ඒ සියලු පහසුකම් සහිතව මාසිකව රුපියල් ලක්ෂ 20 කට ආසන්න වැටුපක්ද ලබා දෙමිනුයි. ඔහුන් දෙදෙනා පැමිණි දින සිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පරාජයන් රැල්ලකට මුහුණ දෙමින් සිටින්නේ පිතිකරුවන් දිගින් දිගටම අසාර්ථක වීමේ ප්‍රතිඵලයක් ලෙසයි. දකුණු අප්‍රිකාව ගැන මනා අවබෝධයක් ලබා ගැනීමට කියා ක්‍රිකට් තරගාවලිය ආරම්භයට පෙර එහි ගිය මිකී ආතර් වෙනුවෙන් සිදුකළ සියලු වියදම් ගගට කැපූ ඉනි මෙන් වුණා. ඊට ප්‍රධාන හේතුවක් වුණේ ලංකා ප්‍රිමියර් ලීග් (LPL 2020) ක්‍රිකට් තරගාවලියට හර්ශල් ගිබ්ස් විස්තර විචාරයට එක් නොවීමේ අඩුව පිරවීමට, ආතර් හම්බන්තොට යාම හේතුවෙනුයි. එලෙස කොළඹ පුහුණුවීම් සිදුකළ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් අමතක කර යාමේ විපාක ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාවේදී අන්ත පරාජයක් ලබා උරුම කර ගත්තා.


    අසන්ත හා මිකීගේ ක්‍රිකට් තේරීම් මාෆියාවෙන් මැච් පරදිද්දී ඇමති නාමල් නිදි - Exclusive Exposed


    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරග පරදින බව කියා මීට පෙර ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහව ඉවත් කළා. මිකී යනු කා සමගත් ප්‍රිය මනාපව කටයුතු කරන පුද්ගලයෙක්. ඒ නිසා ක්‍රීඩකයන්ටද ඔහුව අන්දා කටයුතු කිරීම පහසුයි. හතුරුසිංහ මෙන් බුරුස් කාරයෙක් නොවුණත් වැඩ බැරි ටාසන් කෙනෙකුගෙන් වැඩක් නැහැ. ක්‍රීඩකයින් 25 දෙනෙකු පමණක් ඔහු කරකවමින් සිටිනවා. ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායමක් ලෙස දෙවන පෙල කණ්ඩායමක්ද නැතුවා සේම සාර්ථක දේශීය ක්‍රිකට් පුහුණුකරුවන්ද මේ වන විට නැති බව රහසක් නොවේ. මේ අනුව ක්‍රිකට් ක්‍රීඩකයින් දක්ෂතා මත ගෙවීම් සිදු කිරීමට ඇගයීම් සිදු කරන්නාක් සේ පුහුණුකරුවන් ඇගයීමටත් ක්‍රමවේදයක් සකස් කළ යුතු කාලය එලඹ තිබේ. හතුරුසිංහව ඉවත් කර අදටත් එම ගැටළුව විසදා ගැනීමට නොහැකිව ලතවෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මිකීවත් එලෙස ගැටළුවක් ඇති නොවන සේ ඉවත් කිරීමට හෝ සිදුකරන ගෙවීමට නිසි ඵලය ලබා ගැනීමට ක්‍රමවේදයක් වහා සැකසිය යුතුව තිබෙනවා. අරවින්ද ද සිල්වාගේ සභාපතිත්වයෙන් පත්කළ ක්‍රිකට් උපදේශන කමිටුව මෙතනින් පටන් ගත යුතු බව ඔබට දැන් වැටහෙනවා ඇති.


    LPL උන්මාදයෙන් අප්‍රිකා ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉනිමකින් පැරදුනේ ඇයි ? Exclusive Exposed


    ඉල්ලම් පස් කූඩය දුන් විට ඉන් මැණික් මතු කර ගන්නාක් මෙන් තේරීම් කමිටුව නම් කරන කණ්ඩායමේ දක්ෂයින් මතුකර ජයග්‍රාහී මාවතට ගෙන යාම පුහුණුකරුවන් සතු වනවා. තේරීම් කමිටුව ඉවත් කළ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ දැන් පුහුණුකරුවන් වෙත හැරීමට කාලය බව Lankasportsnews අප මෙලෙස අනාවරණය කරනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් අසමත්. ක්‍රිකට් පුහුණුකරුවන් අසමත්. මේ නිසා ක්‍රිකට් ආයතනයම අසමත්. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂත් අසමත් බව ප්‍රේක්ෂකයන් කියන දිනය වැඩි ඈතක නොවන බව පමණක් අවසන් ලෙස සටහන් කළ යුතුයි.








    No comments