• Breaking News

    ක්‍රීඩා ඇමති නාමල් නොදන්නා ක්‍රීඩාවේ දෙන පර්ඩියම් - Exclusive Exposed


    අන්ධයා ඇතාගේ හැටි කිව්ව වගේ කියල කියන්නේ යමක් හරි හැටි නොදැන කතා කරන විටයි. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ අන්ධයෙක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගැන පාර්ලිමේන්තුවේදී සියල්ලන් නොමග යවමින් විහිළු කතාවක් පැවැත්වුවා. එය ප්‍රශ්න කිරීමට අවස්ථාවක් කතානායකවරයා ලබා නොදීම නිසා යන්තම් ජාමේ බේරා ගත්තා. එහෙත් ඇමති කොලේ වසා එහිදී ලෝකයා රැවටූ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා අස්වීමට සිදුවූ චමින්ද වාස්ගේ විකෘති වූ කරුණු ගැන අනාවරණය කිරීම මෙතැන් සිට සිදුවනවා.


    චමින්ද වාස් ඉල්ලා අස්වීමේ සිදුවීම ඊයේ පාර්ලිමේන්තුව උණුසුම් කළා. ඒ මෙම සිදුවීම ගැන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් සිදුකළ ප්‍රශ්න කිරීම සමගයි. ඊට පිලිතුරු දෙන තුරුම බොහෝ දෙනෙක් සිතා සිටියේ වත්මන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ හිටපු ක්‍රීඩකයෙක් නිසා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හොද කලක් යනු ඇති බවයි. එහෙත් ඔහුත් හිටපු බොහෝ ක්‍රීඩා ඇමතිවරු මෙන්ම ක්‍රීඩා පාලකයන් සනසන රූකඩයක් බව මෙහිදී දක්නට ලැබුණා. එහිදී ක්‍රිකට් ආයතන පාලකයන් සුද්ද කිරීමට වචන හරඹයක නිරත වූ ක්‍රීඩා අමාත්‍ය නාමල් කඩාකප්පල්කාරී ක්‍රියාවක් කළ අයෙක් ලෙස වාස්ව හීන් නූලෙන් හුවා දැක්වූවා. නාමල් රග්බි ක්‍රීඩා කළ අතීතයේ මහනුවර රග්බි ක්‍රීඩා සමාජය සමගින් මහනුවරදීම පැවති තරගයකදී ප්‍රේක්ෂකයන්ට හමුදාව යොදා තග දැමූ හැටි අපේ මතකයට ආවේ නිතැතින්මයි.


    මේ අතර පාර්ලිමේන්තුවේදී ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ක්‍රීඩාව ගැන එක බෝලයට පොර කෑමට අමතරව කිසිවක් නොදන්නා බව ලෝකයට ප්‍රදර්ශනය කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී මරික්කාර් යොමුකළ පැනයේදී පර්ඩියම් (Per diem) යනු දෛනික දීමනාව බව නොදැන අමාත්‍යවරයා එය පර්ඩේ (Per day) ලෙස අර්ථ දක්වමින් විහිලුකාරයෙක් බවට පත් වුණා. ක්‍රීඩාවේදී ක්‍රීඩකයින් හා පුහුණුකරුවන් ඇතුළු නිලධාරීන් සදහා දෛනිකව ලබා දෙන දීමනාව හදුන් වන්නේ පර්ඩියම් (Per diem) යනුවෙනුයි. එය එදා මෙදා තුර සිදුවන්නක් වනවා. එලෙස පර්ඩියම් එකෙන් ඇනගත් ක්‍රීඩා අමාත්‍ය නාමල් ඊළඟට එන්නේ තම සොයුරු රෝහිතගේ බිරිදගේ පියා වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා (COO) ගැන කතා කරමිනුයි. ඒ ක්‍රිකට් නිලධාරීන්ට ලක්ෂ ගණනින් පඩි වැඩි කළේ පසුගිය රජය සමයේ බව ක්‍රීඩා අමාත්‍ය නාමල් කියනවා. එවක වරක් වැඩි කරගත් දීමනා සට කපට ලෙස සිය මූලික වැටුපට එල්ලා ගැනීම නිසා මේ වන විට ජෙරම් ජයරත්න මාසිකව රුපියල් ලක්ෂ 15 කට අධික වැටුපක් ලබා ගන්නවා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැඩිම වැටුප ලබන සේවකයා ලෙසයි. ඔහුගේ එම පැටිකිරිය මෙලෙස Lankasportsnews අප අනාවරණය කළා.


    ක්‍රිකට් ජෙරම්ට තවත් සුවිප් වාසනාවක් - Exclusive Exposed


    පාර්ලිමේන්තුවේදී සිදුකළ තවත් නොමග යැවීමක් නොලිහා බැහැ. චමින්ද වාස් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් සංචාරයට නම් කළ පසු තමන්ට ලබාදෙන පර්ඩියම් (Per diem) එක වැඩිකර එම තනතුරට සරිලන ලෙස ලබා දෙන ලෙස ක්‍රිකට් බලධාරීන්ගෙන් පළමුව ඉල්ලීම් කර තිබෙනවා. එවිට ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා එය ඉවත දමා ඇත්තේ පිළිකුල් සහගතවයි. අනතුරුව මෙම අවනඩුව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂට කී විට ඔහු පවසා ඇත්තේ අරවින්ද ද සිල්වා ප්‍රමුඛ ක්‍රිකට් තාක්ෂණ කමිටුවට එය යොමු කරන ලෙසයි. මේ අනුව ඔවුන්ට කී විට එම කමිටුවේ රොෂාන් මහානාම ඊමේල් පණිවිඩයක් මගින් දැනුම් දී ඇත්තේ වැටුප් වැඩි කිරීම හා දීමනා ගැන තම කමිටුව කටයුතු නොකරන බවයි. ඔබ අමතා ඇත්තේ වැරදි අංකයක් බවත් අංකය පරීක්ෂාකර යලි අමතන ලෙස කියන දුරකථන හඩ පටය එවිට වාස්ට සිහි වෙන්න ඇති නොඅනුමානයි. එම කමිටුවට හෝ, තමට කීවානම් විසදුවක් ලැබෙන බව ඇඟවෙන ක්‍රීඩා අමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු කතාව සම්පූර්ණ මුසාවක් බව මේ අනුව ඔබට වැටහෙනු ඇති.

     

    බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරගාවලියට එක්ව තම පර්ඩියම් (Per diem) එක ඇමරිකා ඩොලර් 100 සිට 300 දක්වා වැඩි කර ගැනීමේ සියළු උත්සාහයන් ව්‍යර්ථ වූ විටයි චමින්ද වාස් තමන් දැරූ සියළු පුහුණුකරු ධූරයන්ගෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ලබා දී ඇත්තේ. පර්ඩියම් යන ඉංග්‍රීසි වචනය නොදත් ගල්කිස්ස ශාන්ත තෝමස් ආදි ශිෂ්‍ය අමාත්‍ය නාමල් එහි තේරුම පාර්ලිමේන්තුවේදීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් ඇසුවා නම් ශබ්ද කෝෂයකටත් වඩා හොදින් දැන ගැනීමට තිබුණු බවයි පාර්ලිමේන්තුවේම සමහරු අපට කීව්වේ. ක්‍රීඩා අමාත්‍ය නාමල් නොදන්නා පර්ඩියම් (Per diem) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක කමිටු නිලධාරීන් විදේශ ගතවන විට දිනකට ඇමරිකා ඩොලර් 300 - 400 දක්වා වූ දීමනාවක් ගෙවනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති රවීන් වික්‍රමරත්න එලෙස මේ දක්වා ලබාගෙන ඇති පර්ඩියම් (Per diem) ගණන සොයා බැලුවහොත් එය රුපියල් කෝටි ගණනක් වන බව ඇමතිට දැන ගත හැකිවේවි. මෙහි වඩාත්ම හාස්‍යජනක වාස් කළ මෙම ඉල්ලීමට වඩා වැඩි මුදලක් ක්‍රිකට් ආයතන බලධාරීන් නිකරුනේ කාබාසිනියා කර තිබීමයි. ඒ බව පාර්ලිමේන්තු කෝප් කමිටුවේදී පසුගියදා යලි ප්‍රශ්න කෙරුණා. එහි එක තැනක පමණක් කියවුණු මුදල රුපියල් ලක්ෂ 5110 ක් බව පහත දැක්වෙන කෝප් කමිටු වීඩියෝවෙන් ඔබට බලා ගත හැකියි.

     

    කෙසේ වෙතත් මෙවන් දූෂණ රැසක් සිදුකරන ක්‍රිකට් බලධාරීන් රැක ගැනීමට නාමල් ඉදිරියට එන්නේ ඔවුන් මේ දූෂණ සමගින් රටේ ක්‍රීඩාව වැනසීම තුට්ටුවකට මායිම් නොකරමිනුයි. වාස්ට ඩොලර් 300 ක් දෙන්න බැරි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ටොම් මූඩිව අධ්‍යක්ෂ ධූරයට ගෙනෙන්න සූදානම් වන්නේ මාසයට ඇමරිකා ඩොලර් 30,000 ක මුදලක් ගෙවමිනුයි. ඒ වසරේ මාස තුනක් මෙම වැටුප් සමගින් සියලු පහසුක් ඇතුව ලංකාවේ සේවය කර මාස 06 කට ආසන්න කාලයක් ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) වෙනුවෙන් සේවය කිරීමේ එකඟතාව ඇතුව බව ඊයේ lankasportsnews අප අනාවරණය කළා. එය කියවූ නැති අයට එම ලිපියයි පහත දැක්වෙන්නේ.


    මූඩිට කිරි වාස්ට කැකිරි ඇමතිත් නිදි - Exclusive Exposed


    මෙලෙසම මෙම කමිටු ඉදිරියේදී තම හෙන්චයියන් නැති තනතුරු නිර්මාණය කර ශ්‍රී ලංකාවට ගෙනෙනු ඇති. මේවා මෙරට කිසිදු ජාතික මාධ්‍යක පළ නොවන්නේ වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන් කියා ගන්නා පිරිස සංචාර වෙනුවෙන් ක්‍රිකට් ලොක්කන්ගේ දෙපතුල වැටී සිටීම හේතුවෙනුයි. Lankasportsnews අප ගවේෂණාත්මක අනාවරණයන් කිසිවක් ඒවායේ පළ නොවීමටත් ලකුණු පුවරු හා පිට කසා ගැනීම් පමණක් ඒවායේ පළ වීමටත් හේතුව එයයි. මෙලෙස වෘත්තීය ගරුත්වය කෙලෙසන පිරිස ගැන ඉදිරියේදී සවිස්තරාත්මක තොරතුරු අනාවරණයක් බලාපොරොත්තු වන්න. ඒ අතර ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මෙරට ක්‍රීඩාව යලි ගොඩ ගත නොහැකි තැනකට ඇද දමා තිබුනොත් පුදුම වීමට දෙයක් නැති බව අවසන් ලෙස මතක් කළ යුතුයි.


    No comments