මූඩිට කිරි වාස්ට කැකිරි ඇමතිත් නිදි - Exclusive Exposed
කලකදි රහ කලකදි වහ වෙනවාලූ කියන කියමන සනාථ කළ සිදුවීමක් ඊයේ අසන්න ලැබුණා. ඒ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් සංචාරය පිටත්ව යාමට පැය 11 ක් තිබියදී ශ්‍රී ලංකා ක්‍රිකට් වේග පන්දු යවන්නන් පුහුණුකරු ලෙස උසස්වීම් ලැබූ චමින්ද වාස් තමන් දැරූ ශ්‍රී ලංකා ක්‍රිකට් සියළු තනතුරු වලින් ඉල්ලා අස්වීමත් සමගයි. මේ වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනය නින්දා සහගත එකක් වුණා. ඔවුන් මෙලෙස ලංකාවට විශිෂ්ඨ සේවයක් කළ හිටපු ක්‍රීඩකයෙක්ට කුඩම්මාගේ සැලකිලි දක්වද්දී සුදු හමක් හිමි ටොම් මූඩි ඉදිරියේ දණ ගසා සිටිනවා. මූඩි ආගමනය හා චමින්ද වාස් ඉල්ලා අස්වීමේ තිරය පිටුපස තොරතුරු මෙතැන් සිට දිග හැරෙනවා.
1996 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය මෙරටට දිනා දීමේ සිට නොමැකෙන මතක සටහන් තිලිණ කිරීමට චමින්ද වාස් සිය දහඩිය මහන්සිය වැය කළා. මෙරටින් බිහිවූ අද්විතීය වේග පන්දු යවන්නා වන චමින්ද දශක දෙකක් පුරා ජයග්‍රහණ දිනා දීමට කටයුතු කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඩොලර් වැසි වස්සමිනුයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ වීරයන් වන මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, අරවින්ද ද සිල්වා, මුත්තයියා මුරලිදරන් හා රොෂාන් මහානාම ක්‍රිකට් ආයතනයට උපදෙස් දීමට පත්ව ඇති සමයක ඔවුන්ගේ සහෘදයකු මෙලෙස ඉල්ලා අස්වීම සමග තුප්පහි නිල මාධ්‍ය නිවේදන නිකුත් වීම කණගාටුවට කරුණක්. එමෙන්ම මෙලෙස ඉල්ලා අස්වී ඇත්තේ සිය සේවය වෙනුවෙන් නිසි වටිනාකමක් ඉල්ලා සිටීමට ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා බැණ වැදීමේ කම්පනයට වීම ක්‍රිකට් ප්‍රේක්ෂකයා නොදන්නා සත්‍යයි. එය මුදල් පෙරේත කමට සිදුවූවක් ලෙස සභාපති ශම්මි සිල්වාගේ උපදෙස් මත එම මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනය පහත දැක්වෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කළේ ඩේවිඩ් ශේඛර්. ඔහු පෞද්ගලික හේතු දක්වමින් පසුගියදා ඉල්ලා අස් වුණා. මේ ශේඛර් යනු එකදු ටෙස්ට් හෝ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග ක්‍රීඩා කළ අයෙක් නොවේ. එහෙත් ඔහුට සියළු පහසුකම් සමගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාසිකව ඇමරිකා ඩොලර් 10,000 ක වැටුපක් ගෙවනු ලැබුවා. ශ්‍රී ලංකාව ක්‍රිකට් පිටියේ බැබළවීමට පන්දුවෙන් දස්කම් දැක්වූ චමින්ද වාස් ඒවන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ දක්ෂතා කළමනාකරණ අංශයේ වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස සේවය කළේ ඇමරිකා ඩොලර් 3000 ක මාසික වැටුපකටයි. මෙම වැටුප් වෙනසට එකම හේතුව සුදු හමක් තිබීම හා දේශීය හමකට හිමිකම් කීම පමණක් බව ඔබ ඇසූ විට පුදුම වනු නොඅනු මානයි. එසේ තිබියදී ශේඛර් ඉල්ලා අස්වූ පුරප්පාඩුව වෙනුවෙන් හිටි හැටියේ වාස්ව කැදවූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් අතීසාරයට අමුඩ ගැසීමේ ප්‍රතිපත්තියට අනුවයි.
චමින්ද වාස්ව මෙම සංචාරයට කැදවා ඇත්තේ අදාල වැටුපට අතිරේක දීමනාවක් ලබාදීම ප්‍රතික්ෂේප කරමිනුයි. මීට පෙර ජෙරම් ජයරත්න ඉහළ දක්ෂතා කළමනාකරණ අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ සමයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු තනතුර මෙලෙසම හිස්වූ විට ඔහුට හදිසි කැඳවීමක් කරමින් ඒ වන විට හිමිවූ වැටුපට අමතරව රුපියල් ලක්ෂ 5ක අමතර දීමනාවක් ලබා දුන්නා. වැඩ බලන ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු තනතුරෙන් ඉවත් වූ පසුව අදටත් එම අතිරේක දීමනාව ජෙරම් සිය මූලික වැටුපට එක්කර ලබා ගන්නවා. එමෙන්ම මේ වන විට ජෙරම් ජයරත්න ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩ බලන කළමණාකරු ලෙස පත්ව සිටිනවා. ඒ වෙනුවෙන් කොපමණ අතිරේක දීමනාවක් ලබාගෙන ඇත්දැයි කිසිවෙක් දන්නේ නැහැ. සට කපට ලෙස මෙලෙස වරින් වර වැඩිකරන දීමනා මූලික වැටුපට එක්කර බුක්තිවිදින ජෙරම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැඩිම වැටුප් ලබා ගන්නා පුද්ගලයායි. මාසිකව රුපියල් ලක්ෂ 15 කට අධික වැටුපක් ඔහු ලබා ගන්නවා.
මෙවන් සිදුවීම් ගැන මනා දැනුමක් ඇති චමින්ද වාස් තමන් සිදුකරන අමතර සේවය වෙනුවෙන් දීමනාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වාගෙන් ඉල්ලා තිබෙනවා. හිටපු ජේෂ්ඨ ක්‍රීඩක කියන ගරුත්වය හෝ නැතුව බැණ වැදී ඇති ශම්මි එම ඉල්ලීම අලුයම ලූ කෙල පිඩක් සේ ඉවත දමා ඇත්තේ හමුවීමට හෝ අවස්ථාවක් ලබා නොදෙමිනුයි. ඉන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරීන් ඈෂ්ලී ද සිල්වා හමුවී දැඩි කලකිරීමෙන් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ලබා දී තිබෙනවා. එහෙත් සුද්දන්ට කත් අදින ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් අරවින්ද ද සිල්වා ඇතුලු පිරිසේ නිර්දේශ මත කලක් මෙරට ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු වූ ටොම් මූඩිව යලිත් මෙරටට ගෙන්වීමට සූදානම් වනවා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අධ්යක්ෂ ලෙස නව තනතුරක් ලබා දී සියළු පහසුකම් සමගින් මාසිකව ඇමරිකා ඩොලර් 30,000 ක් හෙවත් රුපියල් ලක්ෂ 58 කට අධික වැටුපකටයි. එහෙත් ඔහු මේ වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සේවය ලබා දෙන්නේ මාස තුනක කාලයක් පමණයි. ඒ ඔහු වසරේ මාස 06 කට ආසන්න කාලයක් ඉන්දීය ප්‍රිමියර් ලීග් IPL තරගාවලියේ සන් රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ අධ්යක්ෂ ලෙස කටයුතු කිරීම හේතුවෙනුයි. බලලා මල්ලෙන් එලියට පනින්නේ මෙතනදීයි.
ඉන්දීය ප්‍රිමියර් ලීග් IPL තරගාවලියේ සන් රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ අධ්යක්ෂ ලෙස ටොම් මූඩි කටයුතු කරන අතර එම කණ්ඩායමේ සහය පුහුණුකරු වන්නේ මුත්තයියා මුරලිදරන්. මේ දැන හැඳුනුම් කමට මූඩිගේ පිට කසා සිය තැන රැක ගැනීමට මුරලිදරන් කටයුතු කරන බව පෙනී යනවා. ඒ මූඩිව මෙරට ක්‍රිකට් අධ්යක්ෂ ලෙසත් එහෙන් මෙහෙට ගෙඩිය පිටින් ආනයනය කිරීම නිසයි. මුරලිගේ අවශ්‍යතාව ඉටු කිරීමට අරවින්දගේ කමිටුවත් අනුමැතිය ලබාදීම කැපී පෙනෙනවා. මෙම නව තනතුර නිර්මාණය කළෙත් මහේල සභාපතිත්වයෙන් සංගගේ සාමාජිකයින් වුත් ජාතික තේරීම් කමිටුව හා අරවින්ද ද සිල්වා සභාපති ලෙස කටයුතු කරන ක්‍රිකට් උපදේශන කමිටුවයි. ඔවුන් මෙලෙස නව තනතුරු නිර්මාණය කර ඊට සිය හිතවතුන්ව ඔබා ඔවුන්ට ක්‍රිකට් ඉල්ලම ගොඩ දැමීමට ඉඩ දෙනවා. එය අද ඊයේ සිදු වූවක් නොව කලක සිට සිදුවන්නක් වනවා. අරවින්ද ද සිල්වා කලකට පෙර මෙලෙසම සයිමන් විල්ස්ව ගෙන්වා ඉහළ දක්ෂතා කළමනාකරණ අංශයේ ප්‍රධානියා කළා. ඔහු පිටව ගියේ බොරුකාරයෙක් වෙලයි. එලෙසම මෙවර මූඩි රුපියල් ලක්ෂ 58 කට අධික අති විශාල මුදලකට මාස 03 කට ලංකාවට ඇවිත් කරන්නේ කුමක්ද කියා යලි සාධනය කිරීමත් පැවරෙන්නේත් මේ කණ්ඩායමමයි. එය හොරාගේ අම්මගෙන් පේන ඇසීමකට සමාන වනවා.
ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේද මෙවන් අධ්යක්ෂ තනතුරක් තිබෙනවා. එහි කටයුතු කරන රවී ශාස්ත්‍රී වසරේ දින 365 පුරාම සේවය ලබා දෙනවා. ඉතින් මේ ලංකාව කරන්න යන්නේ පය බරවාවට පිටිකර බෙහෙත් බැඳීමක් පමණයි. එහෙත් එය ඔසවා තබා ජාතික හා සමාජ මාධ්‍ය ඔස්සේ වාස්ට මඩ ගැසීම සිදුකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මාධ්‍ය ඇම්බැට්ටයින් දෙන්නා කටයුතු කරමින් ඇත්තේ බත් බැලයින් ලෙසයි. කිසිදු සොයා බැලීමක් නැති ජාතික හා සමාජ මාධ්‍ය වාස්ගේ ඉල්ලාඅස්වීම උලුප්පමින් සිටිනවා. ඒ වෙනුවෙන් ජාතික මාධ්‍ය වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන්ට නම් විදෙස් සංචාර ක්‍රිකට් ආයතන වියදමින් ලබා දීම අත යට එකගතාවයි.
ක්‍රිකට් ආයතනය මෙලෙස යුද පිටියක් වෙද්දීත් කමිටු පිට කමිටු දමා ක්‍රිකට් කමිටු අච්චාරුවක් කර ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ඇදගෙන නාමින් සිටිනවා. පසුගිය සංචාර දෙකේ පරාජයන් වගකීම භාරගෙන තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් ඉල්ලා අස්වුණා. මෙවර බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් සංචාරය යන්නේ තේරීම් කමිටුවක් නැතුව හොර පාරෙන් තේරූ කණ්ඩායමකුයි. ඒ මෙවර පරාජයේ වගකීම භාරගෙන ක්‍රීඩා ඇමතිකමෙන් වැඩ බැරි දාස කෙනෙක් නොවී නාමල් රාජපක්ෂ ඉල්ලා අස්වීමේ අරමුණ ඇතිව විය හැකියි. මුරලිදරන් ගහන පදයට අරවින්ද වැන්නවුන් පවා තාල අල්ලද්දී මහේල හා සංගාගේ ගායනයෙන් මුසපත්ව ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ අඩවු කස්තිරම් අල්ලමින් සිටිනවා. ඔවුන් මොන නාඩගම නැටුවත් Lankasportsnews අපට කමක් නැහැ. එහෙත් රුදාව ඇත්තේ ඔවුන් එක්ව සෙල්ලමට ගෙන ඇත්තේ රටේ ක්‍රීඩාවේ අනාගතය විමයි.
No comments