• Breaking News

    කොදෙව් සංචාරයට ක්‍රීඩකයින් තේරීමත් හොර පාරේ - තේරීම් කමිටුව කෝ ? Exclusive Exposed


    ගිණි පෙල්ලෙන් බැට කාපු එකා කනා මැදිරි එලියටත් බයයි කියලයි අපි අහල තියෙන්නේ. එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කනා මැදිරි එලියකින් බැට කාල ගිණි පෙල්ලකින් බැට කන්න හොයන් යන ජාතියේ බව ඔබ නොදන්නවා ඇති. දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් සංචාරයට කණ්ඩායම හොර පාරෙන් නම් කිරීම නිසා එංගලන්තය ටෙස්ට් තරගාවලියත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අන්ත පරාජයකට ලක් වුණා. එහි ප්‍රතිඵලය වුනේ තේරීම් කමිටුවට ඉල්ලා අස්වන ලෙස ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ නියෝග කිරීමයි. මේ අනුව තවමත් පුරප්පාඩු වී ඇති තේරීම් කමිටුව නම් නොකර හොර පාරෙන් නම් කළ සංචිතයක් එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් සංචාරයටත් එක්වීමට නියමිත වනවා. ඒ අතර පසුගියදා පැවති ශරීර යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වූ ක්‍රීඩකයින් දෙදෙනෙක් හොර පාරෙන් යලිත් ඊට මුහුණදී සමත් වී තිබෙනවා. වැටී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් හතර ගාතේ වට්ටීමට හොර පාරෙන් සිදුවන මේ අක්‍රමිකතා ගැන මෙතැන් සිට කරුණු අනාවරණය කෙරෙනවා.


    දකුණු අප්‍රිකා සංචාරය ඉලක්ක කර ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයින් සංචිතගත කර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී විශේෂ පුහුණු කඳවුරක් පසුගිය වසරේ දී පැවැත්වුනා. ඊට ක්‍රීඩකයින් තෝරාගෙන තිබුණේ ක්‍රිකට් තේරීම් කමිටුව නොවන බව lankasportsnews අප අනාවරණය කළා. එය පරාජයන්ට අත වැනීමක් ලෙස එදා අප කරුණු අනාවරණය කළ ලිපිය පහත දැක්වෙනවා.


    තේරීම් කමිටුවක් නැතුව හොර පාරෙන් අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමක් - Exclusive Exposed


    මෙලෙස දින පහක ටෙස්ට් ක්‍රිකට් තරග අප්‍රිකාවේදී දින තුනකින් පරාජයන් වැදගෙන ශ්‍රී ලංකාවට ආ කණ්ඩායම මෙරටදීම එංගලන්ත හමුවේ යලිත් අසරණ වී පරාජයන් උරුම කර ගනු ඇතැයි Lankasportsnews අප කල් තියා ඔබට කිව්වා. ඒ සාක්ෂි සාධක සහිතවයි. එය සත්‍යක් වෙමින් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට වාසනාව ගෙනෙන බව සැලකෙන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී යලිත් එංගලන්ත ඉදිරියේ අන්ත පරාජයන්ට ලක් වුණා. එයත් වෙන්න කලින් Lankasportsnews අප අනාවරණය කළ ලිපිය පහත දැක්වෙනවා.


    අසන්ත හා මිකීගේ ක්‍රිකට් තේරීම් මාෆියාවෙන් මැච් පරදිද්දී ඇමති නාමල් නිදි - Exclusive Exposed


    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන පරාජයන් සමග අසන්ත ද මෙල් ප්‍රමුඛ තේරීම් කමිටුවට ඉල්ලා අස්වීමට සිදු වුණා. මේ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ සභාපතිත්වයෙන් රොමේෂ් කළුවිතාරණගේ සාමාජිකත්වයෙන් නව තේරීම් කමිටුව සදහා නම් යෝජනා කර තිබෙනවා. එයත් අප මෙලෙස වාර්තා කළා.


    ක්‍රිකට් යෝග්‍යතා පරීක්ෂණය කල් යයි - තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය - Exclusive Exposed


    මේ අතර ක්‍රිකට් තේරීම් කමිටුව නම් කිරීම ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ දිනෙන් දින කල් දමද්දී හොර පාරෙන් නම් කළ ක්‍රීඩකයින් 36 දෙනෙක්ගේ සංචිතයට ශරීර යෝග්‍යතා පරීක්ෂණය පැවැත්වුණා. ඊට ධනංජය ද සිල්වා හා අවිශ්ක ප්‍රනාන්දු එක් නොවූයේ ආබාධ හේතුවෙනුයි. කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ලහිරු තිරිමාන්න හා විවාහ උත්සවය පැවැත්වීම නිසා කුසල් මෙන්ඩිස් ඊට එක්වූයේ නැහැ. මේ අනුව ක්‍රීඩකයින් 32 නෙක් සුගතදාස ක්‍රීඩා පිටියේ කිලෝමීටර් දෙකක් දුර දුවමින් ශරීර යෝග්‍යතා පරීක්ෂණයට මුහුණ දුන්නා. ඉන් ක්‍රීඩකයින් 04 දෙනෙක් අසමත් වුණා. එයත් ලංකාවේ පළමු වතාවට Lankasportsnews අප මෙලෙස අනාවරණය කළා.


    ක්‍රිකට් කණ්ඩායමේ 28 ක් පාස් 04 ක් ෆේල් - Video - Exclusive Exposed


    කෙසේ වෙතත් මින් අසමත් වූ දනුෂ්ක ගුණතිලක හා භානුක රාජපක්ෂ ඊයේ යලිත් ශරීර යෝග්‍යතා පරීක්ෂණයට පෙනී සිට තිබෙනවා. ඒ කුසල් මෙන්ඩිස් සමගයි. එහෙත් අසමත් වූ ක්‍රීඩකයින් දින 40 කට පසු යලි ශරීර යෝග්‍යතා පරීක්ෂණයට එක්විය යුතු බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට පෙර කියා සිටියේ. මේ අනුව අසමත් වී දින 04 කට පසු ඉන් තෝරාගත් ක්‍රීඩකයින් දෙදෙනෙක්ට පමණක් ශරීර යෝග්‍යතා පරීක්ෂණයට පෙනී සිටීමට අවසර ලබා දුන්නේ කවුද යන්න ප්‍රශ්නයක් වනවා. දින 40 ක් සිටිය යුතුය යන පොදු නියමයේ අග බිංදුව කැපීමට සමත් ප්‍රභලයා කවුද කියා ක්‍රිකට් වෙනුවෙන් පත්කළ අරවින්ද ද සිල්වා ප්‍රමුඛ ක්‍රිකට් තාක්ෂණ කමිටුව සොයා බැලිය යුතුයි. අනෙක වන්නේ එම පරීක්ෂණය අසමත් වූ දිල්රුවන් පෙරේරා හා කුසල් ජනිත් පෙරේරාට මෙහිදී අවස්ථාව ලබා නොදීමට හේතුව කුමක්දැයි සොයා බැලීමත් ඔවුන් ඉටුකළ යුතුයි. මහේල ජයවර්ධන ප්‍රමුඛ ජාතික ක්‍රීඩා සභාව ද ඇමති පිටි පස්සේ යන කේවට්ටයින් පිරිසක් බවට පත් නොවී මෙම අක්‍රමිකතා ගැන සොයා බැලිය යුතුයි. ක්‍රීඩාව සැබෑ ලෙසම සංවර්ධන කිරීමට හැකි වන්නේ එවිට පමණක් බව අමුතුවෙන් කිව යුතු නැහැ.


    මේ අතර එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් සංචාරයට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 36 දෙනෙක් පිටත්ව යාමට නියමිතයි. ටෙස්ට් ක්‍රිකට් තරග දෙකක්, එක්දින තරග තුනක් හා පන්දුවාර විස්සයි විස්ස තරග තුනක් එම සංචාරයට ඇතුලත් වනවා. එහෙත් ඔවුන්ව නම් කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුවක් මෙතෙක් පත්කර නැහැ. මේ අනුව දකුණු අප්‍රිකා හා එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලි සදහා ගිය ලෙසම මෙවරත් කණ්ඩායම තෝරාගෙන ඇත්තේ හොර පාරෙනුයි. ගියවර අසාර්ථක වීම හේතුවෙන් තේරීම් කමිටුව ඉල්ලා අස් වුණා. මෙවර අසාර්ථක වුවහොත් ඉල්ලා අස්වෙන්නේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂද යන පැනය මතු වනවා. මෙතරම් ක්‍රීඩකයින් සංඛ්‍යාවක් එක තරගාවලියකට පිටත්ව යන පළමු අවස්ථාව ලෙස මෙය ක්‍රිකට් ඉතිහාසයට එක්වනවා. ක්‍රීඩකයින්ට අමතරව සහය කාර්‍යමණ්ඩලයත් එකම ගුවන් යානයක ව්‍යාපාරික පන්තියේ අසුන් ගැනීමට නොහැකිවනු ඇති. එලෙස කදමලු බදන් ගිහින් මදි නොකියන්න හතර ගාතේ වැටී ලංකාවට එන්න වුනොත් එහි වගකීමෙන් පත්කර ඇති කමිටු පුටු රත් කරන්නන්ට හා ක්‍රීඩා අමාත්‍යවරයාට ගැලවෙන්න නොහැකි බව මතක තබා ගත යුතුයි.



    ශ්‍රී ලංකා ක්‍රිකට් යනු ආගමක් හා සමානව මෙරට ජනයාට සමීප ක්‍රීඩාවක් වී තිබෙනවා. එහෙත් ජාතියේ අවාසනාවට එය මේ වන විට පිරිසකගේ ව්‍යාපාරයක් බවටත් පත්ව අවසන්. බුකීකරුවන්ට අවශ්‍ය ලෙස ජයග්‍රහණ තීරණය වන ලෙස ක්‍රිකට් පරිපාලනය දේශපාලනීකරණ වී ඇති බව කියා අධිකරණයෙන් ක්‍රිකට් බේරාදෙන ලෙස පිහිට පැතීමටත් සිදුව තිබෙනවා. ඒ අස්සේ හොරෙන් ක්‍රීඩකයින් තෝරා පිරිසක් ක්‍රිකට් පරාජයන් වෙතම කණ්ඩායම දක්කනවා. මේ සියල්ල වෙනස් කරන දිනයක් උදා වන තුරු දෙවියන්ට කන්නලවු කිරීමට රටේ ජනතාවට  සිදුව තිබෙනවා.



    No comments