මුරලිට දිව දෙකක් - ක්‍රිකට් මාධ්‍ය ඒකකය කියයි - Exclusive Exposed
වදුරට දැලි පිහිය අහු වුණා වගේ කියන කතාව ඔබ අහල තිබුණට දැකල නැති අයට එය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මාධ්‍ය ඒකකය කලක පටන් නොමිලේ ප්‍රදර්ශනය කරනවා. මෙවර ක්‍රිකට් මාධ්‍ය ඒකකය කෙහෙල් ගහට කෙටුවා වැන්නක් සිදුකර තිබෙනවා. ඔවුන් පසුගිය කාලයේ විවිධ බොරු නිර්මාණය කරමින් ක්‍රිකට් ක්‍රීඩකයින් ඉලක්ක කර අවලාද නැගීමේ සංවිධානාත්මක ක්‍රියාවලියක නිරත වුණා. මෙවර ඔවුන්ගේ ඉලක්කය වී ඇත්තේ ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨම දඟ පන්දු යවන්නා ලෙස ලෝකයම ආදරය කරන මුත්තයියා මුරලිදරන්. එය අසත්‍ය නම් මුරලි, දවල් මිගෙල් රෑ දනියෙල් දෙබිඩි චරිතයක් විය යුතුයි. Lankasportsnews අප අද මෙතැන් සිට දිග හරින්නේ එම කතා පුවතයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණයෙන් දිනන්නේ සුමතිපාල හිතවාදීන් පමණක් බව කලක සිට දක්නට ලැබෙනවා. ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත්ව හැමදාම පරාජයට පත්වන හිටපු නායක අර්ජුන රණතුංග මෙය උදාහරණ සහිතව පැවසුවා. පසුගියදා ඔහු කියා සිටියේ රටේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආවත් තුනෙන් දෙකක බුහුතර පාර්ලිමේන්තු ජයක් ලැබූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉදිරිපත් වුවත් ක්‍රිකට් ආයතන නිලවරණය ජයගත නොහැකි බවයි. ඒ සුමතිපාල පාර්ශ්රවය ක්‍රිකට් නිලවරණයේදී වඩා බලවත් වීම හේතුවෙන්. හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල තමන්ට අවශ්‍ය නාමික ක්‍රීඩා සමාජ සදහා ක්‍රිකට් නිලවරණ ඡන්ද අයිතිය ලබා දීම ඊට හේතු වී තිබෙනවා. තිලංග ඉදිරිපත් නොවන නිලවරණයක ජය ගන්නේ ඔහු ඉදිරිපත් කරන කණ්ඩායමයි. වත්මන් සභාපති ශම්මි සිල්වා ප්රමුඛ විධායක කමිටුව එලෙස පත් වුණා. එවර ප්‍රතිවාදී කණ්ඩායමෙන් ජය ගත්තේ උප සභාපති කේ මතිවානන් පමණයි. එහෙත් ඔහුට ක්‍රිකට් ආයතනයට පැමිණි විට සිටීමට තැනක් හෝ ලබා නොදෙමින් ඉල්ලා අස්වන තැනට ශම්මි ප්රමුඛ කණ්ඩායම කටයුතු කළා. එලෙස ඉල්ලා අස්වූ විගස එම පුරප්පාඩුව ජයන්ත ධර්මදාසට ලබා දුන්නා.
ජයන්තගේ නැට්ටේ එල්ලී දිව්‍යලෝකේ යන්න හදන ක්‍රිකට් සෙට් එකේ කුමන්ත්‍රණය - Exclusive Exposed
මෙවන් ක්‍රිකට් ආයතනයේ අති විශාල වංචා හා දූෂණය විශේෂ විගණන වාර්තාවක් මගින් සුනිල් හදුන්නෙත්ති සභාපති වූ පාර්ලිමේන්තු කෝප් කමිටුව අනාවරණය කළා. ඒවාට මෙතෙක් කිසිදු පියවරක් නොගැනීම චරිත හේරත් සභාපතිත්වය දරණ වත්මන් කෝප් කමිටුවේදී ප්‍රශ්න කෙරෙමින් තිබෙනවා. එම වංචා හා දූෂකයන් අනාවරණය කළ නිලධාරීන් මත එහි වරද පැටවීමේ සූදානමක් ද පවතිනවා. ඒ පිලිබද මෙම වීඩියෝ සාක්ෂි සපයන අතර වැඩිදුර තොරතුරු අනාවරණයක් ඉදිරියේදී Lankasportsnews අප සිදු කිරීමට සියල්ල සූදානම් කරමින් පවතිනවා. එමෙන්ම ක්‍රිකට් ආයතනයේ රුපියල් ලක්ෂ 5110 කට අධික මුදල් අපහරණයක්ද විගණනයෙන් සොයාගෙන තිබෙනවා.
මේ අතර ක්‍රිකට් පරිහානිය වැලැක්වීමට මීළඟ ක්‍රිකට් නිලවරණයට පෙර නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙමින් පිරිසක් අභියාචනාධිකරණයේ රීට් පෙත්සමක් ගොනුකර තිබෙනවා. මේ අනුව ලබන මස 15 වැනිදා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂට හා ක්‍රිකට් සභාපති ඇතුලු නිලධාරීන්ට අභියාචනාධිකරණයේ පෙනී සිටින ලෙස නොතේසි නිතුත් කෙරුණා. මෙම රීට් පෙත්සම සලකා බැලුනේ අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර හා මායාදුන්නේ කොරයා යන විනිසුරුවන් හමුවේයි. ක්‍රිකට් පරිපාලනයට දේශපාලන හා බාහිර බලපෑම් සිදුවන බවයි මෙම පෙත්සමෙන් පෙන්වා දී තිබුණේ. මෙලෙස ක්‍රිකට් පරිපාලනය වෙනස් කිරීම සදහා නව ව්‍යවස්ථාවක ඇති අවශ්‍යතාව පෙන්වා දෙමින් නඩුව ගොනුකර ඇත්තේ හිටපු ක්‍රිකට් සභාපතිවරු හා ක්‍රීඩකයින් සමගින් සිවිල් ක්‍රියාකාරීන් ඇතුළු 12 දෙනෙකුයි. ඒ හිටපු ක්‍රිකට් අතුරු කමිටු සභාපතිවරුන් වන සිදත් වෙත්තමුණි, රියන්සි විජේතිලක, විජය මලලසේකර, ආනා පුංචිහේවා, අතුරු කමිටු උප සභාපති කුෂිල් ගුණසේකර, අතුරු කමිටු සාමාජික මයිකල් තිසේරා, විශ්‍රාමික විනිසුරු සලීම් මර්ෂුක්, ජනාධිපති නීතීඥ ඩිනාල් පිල්ප්ස්, ආචාර්ය පාලිත කොහොන, ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති තිලාන් විජේසිංහ, ඕස්ට්‍රේලියාවේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් සෝම සුන්දරම් ස්කන්ධකුමාර් හා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්.
කෙසේ වෙතත් මෙම නඩුව ගොනු කිරීමෙන් පසුව හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ක්‍රිකට් කණ්ඩායමේ අභිප්ප්රේරකයකු ලෙස වැඩමුළුවකට එක්වූ බව ක්‍රිකට් ආයතනය පවසනවා. එය දැක්වෙන වීඩියෝවක් හා ඡායාරූපය කිහිපයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, මාධ්‍ය වෙත නිකුත් කළා. එමෙන්ම ඔවුන් ඒ පිලිබද ක්‍රිකට් ආයතන නිල වෙබ් අඩවියේ දක්වා ඇත්තේ ක්‍රිකට් පරිපාලනය වෙනස් වීමෙන් ජයග්‍රහණ ලබා ගත නොහැකි බවයි. එහි මෙලෙස දැක්වෙනවා.
ක්‍රිකට් බෝඩ් එක මාරු කළාට වැඩක් නෑ. තරග දිනන්න නම් ක්‍රීඩකයින් දක්ෂතා අතරට පැමිණිය යුතුයි. – මුරලිදරන්ගෙන් ක්‍රීඩකයින්ට හරවත් දේශනයක්
මේ අනුව පෙනී යන්නේ මුත්තයියා මුරලිදරන් අභියාචනාධිකරණයට ගොස් එකක් කියා ක්‍රිකට් ආයතනයට පැමිණ වෙන එකක් කියා ඇති බවයි. නොඑසේ නම් මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මාධ්‍ය ඒකකයේ නිර්මාණයක් විය යුතුයි. මෙම ක්‍රිකට් මාධ්‍ය ඒකකයේ ප්‍රවෘත්තිය කියවූවන් මුරලි යනු කටුස්සෙක් ලෙස පාට මාරු කරන්නෙක් බව මේ වන විට කියමින් යනවා. එමගින් ක්‍රිකට් මාධ්‍ය ඒකකයට අවශ්‍යව ඇත්තේ මුරලිගේ ප්‍රතිරූපය විනාස කිරීමයි. ඒ ක්‍රිකට් පාලකයන් පුම්බා මුරලි තැනින් තැනට ගොස් මෙලෙස පරස්පර කතා කියන්නෙක් බව පෙන්වීමයි. මෙය ගොණුකර ඇති නඩුවේදීත් මතුකළ හැකි තත්වයක් වනවා. එමගින් ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් නොකර මෙලෙසම තබා ගැනීමට ක්‍රිකට් ලොක්කන්ට ඉල්ලිය හැකි සාක්ෂියක් සපයනවා. එනම් ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලීම හා ක්‍රීඩකයින් ඉදිරියේ එලෙස පරස්පර කතා කියමින් යන්නේ මෙය පෞද්ගලික හේතුවකට ගොනුකර ඇති බව පෙන්වා දෙමිනුයි.
මෙලෙසම ක්‍රිකට් මාධ්‍ය ඒකකය මීට පෙර ක්‍රිකට් ක්‍රීඩකයින්ට ලිංගික අනාචාරයේ හැසිරීමේ ගල් පැලෙන බොරුව සමාජ ගත කළා. අනතුරුව ක්‍රීඩකයින් කිලෝමීටර් දෙකක් දුර දිවීමේ යෝග්‍යතා පරීක්ෂණය ඔස්සේ අපවාදයට ලක් කිරීමේ සූක්ෂම කුමන්ත්‍රණයක් ද ක්‍රියාත්මක කළා. මෙලෙස පිස්සු බල්ලන් සපාකමින් යනවා සේ කටයුතු කරන ක්‍රිකට් මාධ්‍ය ඒකකයේ වැරදි තොරතුරු නිකුත් කරන්නන්ට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ වහා ක්‍රියාමාර්ග ගත යුතුයි. නොඑසේ නම් ඔවුන් ඇමතිවරයාවත් හපා කන දිනය වැඩි ඈතක නොවනු ඇති. Lankasportsnews අප මෙලෙස පෙන්වා දෙන්නේ ඔවුන් මේ වනසන්නේ රටේ ක්‍රිකට් අනාගතය බවත් මතක් කරමිනුයි.
No comments