• Breaking News

    අතුරු කමිටු නැතුව නාමල් ක්‍රිකට් වලට කරන්න යන දේ - Exclusive Exposed


    මොකාගෙද මොකක්ද එක වැටෙනකං පස්සෙන් යන පිරිස වගේ ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කරන තුරු බලා සිටින පිරිසක්ද සිටිනවා. ඔවුන් ඇගිලි ගනිමින් සිටින අතර ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත අවලාද නැගීමටත් උපන් හපන්කම් දක්වනවා. ඒ ඒමගින් හෝ පොටක් පාදා ගැනීමටයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පසුගියදා ලිංගික අනාචාරයේ හැසිරීමේ ගල් පැලෙන බොරුව එලෙස සමාජ ගත වූවක්. පෞද්ගලික කෝන්තර ක්‍රිකට් පිටින් තබා අත හරින මේ පිරිස නොදැනුවත්ව කෙලසන්නේ අපේ රටේ ක්‍රිකට් අනාගතය බව නොතේරීම මහා අවාසනාවක් වනවා. ඔවුන්ගේ මේ දිනවල මාතෘකාව වී ඇත්තේ ක්‍රිකට් අතුරු කමිටුව හෙට යන්නයි. එහෙත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ක්‍රිකට් නැංවීමට තෝරාගෙන ඇති ඊට හාත්පසින්ම වෙනස් ක්‍රියාවලිය ගැන තොරතුරු මෙතැන් සිට පෙල ගැස්වෙනවා.


    ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය වෙනස් වූ සංධිස්ථානය වන්නේ 1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමයි. ඊට නායකත්වය ලබාදුන් අර්ජුන රණතුංගගේ සැබෑ දුර දක්නා ක්‍රියාකාරීත්වය ඒ සදහා විශාල ශක්තියක් වුණා. අනතුරුව දේශපාලනයට පිවිසි ඔහුට ක්‍රීඩා අමාත්‍යාංශය හැර බොහෝ අමාත්‍යාංශ පාලනය භාර වුණා. වරක් ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටු සභාපතිවරයෙක් ලෙස පත්වූ ඔහුට කැපී පෙනෙන යමක් කිරීමට හැකිවූයේ නැහැ. මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී පරාජයට පත්ව ගෙදර යාමට සිදුවූ ඔහු කඩා වැටෙමින් ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය ඉල්ලා සිටිනවා. එහෙත් එය ලබාදීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ කිසිදු කැමැත්තක් දක්වන්නේ නැහැ. ඊට හේතුව වී ඇත්තේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ සමීපතම ක්‍රිකට් උපදේශකයන් වන ජාතික ක්‍රීඩා සභාවේ සභාපති මහේල ජයවර්ධන හා එහි සාමාජික කුමාර් සංගක්කාර ඒ සදහා අනුමැතිය ලබා නොදීමයි. අඩුව තියෙද්දී අත පුච්චා ගන්න එපා කියමින් ඔවුන් ක්‍රිකට් අතුරු කමිටුවක් වෙනුවට විකල්ප යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.


    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ව්‍යවස්ථාවට අනුව ක්‍රිකට් උපදේශන කමිටුවක් පත්කළ හැකියි. මෙතෙක් කලක් එය පත් කළා. ක්‍රිකට් ආයතන පාලනයට පැමිණෙන පිරිස, කියන සියල්ලට එහෙයි කියන්නන් ඊට පත්වීම නිසා ඉන් කිසිදු ඵලදායි දෙයක් සිදුවූයේ නැහැ. එහෙත් මෙවර එම කමිටුව සෘජුව ක්‍රීඩා අමාත්‍යවරයාට වගකියන එකක් බවට පත් කිරීමට ජාතික ක්‍රීඩා සභාවේ යෝජනාව වී ඇතැයි Lankasportsnews අප වෙත වාර්තා වනවා. මේ අනුව ඊට මහේල හා සංගක්කාරට අමතරව හිටපු ජේෂ්ඨ ක්‍රීඩකයින් ඇතුලත් කිරීමට යෝජනා වී තිබෙනවා. මෙලෙස ප්‍රභල ක්‍රිකට් උපදේශන කමිටුවක් පත්කර කඩාවැටෙමින් ඇති ක්‍රිකට් ගොඩනැංවීමට ඔවුන් ඉදිරියේදී කටයුතු කරනු ඇති. ඊට රොෂාන් මහානාම හා අරවින්ද ද සිල්වා වැනි ජේෂ්ඨයින් පත්කරනු ඇතැයි රාවයක් පවතිනවා. එහෙත් මීට පෙර පත්කළ මෙවන් කමිටු ක්‍රිකට් ගොඩනැංවීමට කිසිවක් නොකිරීම හේතුවෙන් මෙම කමිටුවට එක්වීම මහානාම ප්‍රතික්ෂේප කරනු ඇතැයි Lankasportsnews අප වෙත වාර්තා වනවා.


    මේ අතර ඉදිරි ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය ලබන අප්‍රේල් මාසයට පෙර පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ඊට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ කිසිදු බලපෑමක් නොකළ බව පෙන්වීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදුකිරීම ආරම්භ වී තිබෙනවා. කෙසේ වෙතත් තිරය පිටුපස ක්‍රියාත්මක වන්නේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ හිතැගි ඉටුවීමට අවශ්‍ය වටපිටාව සකස් වීමයි. මේ අනුව ක්‍රිකට් ලේකම් ධූරයට නියත ලෙස නිතරගයෙන් නිශාන්ත රණතුංගට පත්වනු ඇති. නිශාන්ත ක්‍රිකට් ලේකම් ලෙස සිටි සමයේ CSN නාලිකාවේ රාජපක්ෂවරුන් වෙනුවෙන් කැපී පෙනෙන සේවයක් සිදු කිරීම ඊට හේතුවයි. සභාපති සටනට යලිත් පැමිණීමට හිටපු සභාපති තිලංග සුමතිපාල තමන්ට පනවා ඇති පාර්ලිමේන්තු සම්මත පනත අවලංගු කර ගැනීමට බැසිල් රාජපක්ෂ හරහා කුමන්ත්‍රණය කරමින් සිටිනවා. එසේ නොවුනහොත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ දීර්ඝ කාලීන මිතුරා වන වත්මන් සභාපති ශම්මි සිල්වා යලිත් ඉදිරිපත්වනු ඇති. ඒ ඔහුට එරහිව තරග වැදීමට නියමිත හිටපු උප සභාපති කේ. මතිවානන් ප්‍රතිවාදී අපේක්ෂකයා කරමිනුයි. එවිට ක්‍රිකට් උප සභාපති සටනට මොහාන් ද සිල්වා හා ජයන්ත ධර්මදාස ඉදිරිපත් වනු ඇති. ඔවුන්ට එරෙහිව ඉදිරිපත් වුවහොත්  වත්මන් උප සභාපති රවීන් වික්‍රමරත්න පරාජය කිරීමටත් සැලසුම් සකස්ව අවසන්.


    කෙසේ වෙතත් ක්‍රිකට් ආයතන නිලවරණයට පසු පත්වන කමිටුව සමගින් ප්‍රභල ක්‍රිකට් උපදේශන කමිටුවක් කටයුතු කිරීමට අවශ්‍ය කටයුතුයි මේ වන විට සැකසෙමින් ඇත්තේ. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ එම උපදේශන කමිටුව හරහා ක්‍රිකට් යලි ඔසවා තැබීමට අවශ්‍ය තීන්දු තීරණ ගනු ඇති. එවිට ප්‍රේක්ෂක ඔබට අපට යලිත් ජයග්‍රාහී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දැකගත හැකිවේවායි බලාපොරොත්තු තබා සිටිනවා හැරෙන්න කළ හැක්කක් නැහැ. ඒ දිනය වැඩි කල් නොගොස් මෙම සැලසුම් සමගින් ඉටුවනු ඇතැයි කීමට හැක්කේ උඩ ඉන්නා දෙවියන්ට පමණයි.


     

    No comments