• Breaking News

    අලීට කොරෝනා - එංගලන්ත කණ්ඩායමටම අදත් PCR


    අනුන්ගේ ඇහේ තියෙන පොල් කෙන්ද පේන තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ පේන් නැති රටකට එංගලන්තය නිදසුන් සපයන බව ඇතමුන් කියනවා. එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම පසුගිය වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචාරය අතර මැද අතහැර දැමුවේ මෙරටින් වාර්තා වූ කොරෝනා හේතු දක්වමින්. පසුගිය දෙසැම්බර් මාසයේදී ඔවුන් දකුණු අප්‍රිකාවේ සිදුකළ සංචාරය අතර මැද අතහැර දැමුවා. ඒ කොරෝනා බියෙන් ක්‍රීඩකයින්ට ක්‍රීඩා කළ නොහැකි බව පවසමින්. එලෙස ලෝකෙට පරකාසේ වූ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම තුලින් පසුගිය තුන් වැනිදා (2021/01/03) කොරෝනා මතු වීමත් සමග ගෙදරට මරගාතේ වෙමින් තිබෙනවා. ඒ පිලිබද මෙතැන් සිට පෙල ගැසෙනවා. 


    2020 වසර මුලදී ටෙස්ට් ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් තරග දෙකකට එක්වීමට එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණියා. එහෙත් දෙවන තුන්දින පුහුණු තරගයේ දෙවන දිනය නිමා වීමටත් පෙර සිය රට බලා යාමට ඔවුන් තීරණය කළා. ඒ මෙරටින් කොරෝනා රෝගීන් හමුවීම ආරම්භයත් සමගයි. අනතුරුව පසුගිය වසරේ දෙසැම්බර් මස දකුණු අප්‍රිකාවේදී එක්වූ පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය තරග තුනට බින්දුවක් ලෙස එංගලන්ත කණ්ඩායම ජය ගත්තා. එහෙත් ඉන් අනතුරුව ආරම්භ කිරීමට සූදානම් වූ එක්දින තරගාවලියට එක් නොවී යලි සියරට බලා යාමට එංගලන්තය කටයුතු කළා. ඒ කොරෝනා බියෙන් ක්‍රීඩකයින්ට ක්‍රීඩා කළ නොහැකි බව පවසමිනුයි. දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය මෙලෙස එංගලන්තය ක්‍රීඩා නොකර යලි යෑම පිලිබද කණගාටුව හා අප්‍රසාදය පළකළා. ඒ ක්‍රීඩකයින්ට කොරෝනා නැතුව  මෙලෙස යාම පිලිබදවයි.



    එවන් ඉතිහාසයක් ඇති එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග දෙකකින් යුත් තරගාවලියක් සදහා පෙරේදා (2021/01/03) මත්තලින් ගොඩ බැස්සා. එහිදී සංචාරයට එක්වූ සියල්ලන්ට සිදුකළ PCR පරීක්ෂණයකදී මොයින් අලීට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වුණා. මෙහි ඇති විශේෂත්වය වන්නේ එංගලන්තයේදී සිදුකළ PCR පරීක්ෂණයෙන් එය සොයා ගැනීමට නොහැකි වීමයි. එංගලන්තයේ පසුගිය සතිය පුරාම සෑම දිනකම නව කොරෝනා ආසාධිතයින් 55,000 කට අධික පිරිසක් හමුවනවා. මේ හේතුවෙන් සම්පූර්ණ එංගලන්තයම ලොක්ඩවුන් කිරීමකට අද සිට ලබන පෙබරවාරි මාසයේ මැද දක්වා යටත් කිරීමට එරට රජය පියවර ගත්තා. මේ වන විට එරටින් හමුවන කොරෝනා නව ප්‍රභේදය සියයට 70 ක වේගයෙන් පැතිරෙන බව සොයා ගෙන අවසන්. මේ අනුව මොයින් අලීට කොරෝනා බව තහවුරු වීමත් සමග ඔහුව වෙනම හෝටලයක දින 10 ක ස්වයං නිරෝදායනයට යොමුකර තිබෙනවා. ඒ එම කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින්ගෙන්ද හුදකලා කරමින්.

    මේ අතර මොයින් අලී සමග සමීප සබදතා පැවැත්වූ ක්‍රිස් වෝක්ස් වත් හුදකලා කිරීමට කටයුතු කර තිබෙනවා. දින හතක හුදකලා කිරීමකට වෝක්ස් යටත් වන අතර එම කාලය පුරාම සෞඛ්‍ය තත්වය නිරන්තර පරීක්ෂාවට ලක් වනවා. මේ අතර සංචාරයට එක්වූ සම්පූර්ණ එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමටම PCR පරීක්ෂණ යලිත් අද (2021/02/05) දිනයේත් සිදු කිරීමට නියමිතයි. එරට ක්‍රිකට් කණ්ඩායම් ප්‍රකාශකයෙක් Lankasportsnews අප වෙත කියා සිටියේ කණ්ඩායමේ පුහුණුවීම හෙට (2021/01/06) ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි. එමෙන්ම දෙරට අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 14 වනදා ගාල්ලේදී පැවැත්වීමට නියමිත වුණත් ඊට මොයින් අලීව එක්කර ගැනීමට අවිනිශ්චිත බවයි එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේ. ඒ ඔහුගේ නිරෝදායන දින 10 ක කාලය ඊට පෙරදින අවසන් විම නිසා නිසි පුහුණුවක් හා ශරීර යෝග්‍යතාවක් ලබාදීමට නොහැකිවීමේ ගැටළුව නිසයි. එමෙන්ම මෙම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේ කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින්ට කොරෝනා ආසාදනය වී නැතැයි තමන් විශ්වාස කරන බවයි. එය අද සිට ක්‍රමානුකූලව සිදුකරන පරීක්ෂාවන්ගෙන් තහවුරු කර ගැනීම බලාපොරොත්තු වනවා. කෙසේ වෙතත් පෙර ආදර්ශ වලට අනුව නම් මේ වන විට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම යලි හැරී ගොස් තිබිය යුතුයි


    එංගලන්ත කණ්ඩායමට කොරෝනා ආසාදනය වී ඇති බව දැනගත් පැණි වෙළෙඳුන් සිය ඖෂධය එම ක්‍රීඩකයින්ට ලබාදෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලීම් කරමින් ඇතැයි වාර්තා වනවා. ඒ අතර කාලි ධම්මික පැණිය හා ගංජා රිටිගල පැණිය වන බව සදහන්. එමගින් පැණි වෙළදුන්ට සිය ඖෂධය ජාත්‍යන්තරයට රැගෙන යෑමේ හා එහි සාර්ථකත්වය ලොවටම කීමේ අවස්ථාව හිමිවනවා. මෙම පැණි දෙකට අදාල රූපවාහිනී නාලිකා දෙක එම කටයුත්තේදී වැඩිම කාර්යයක් සිදුකිරීමට සැදී පැහැදී සිටින බවත් වාර්තා වනවා. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ කුමන පැණියට අනුමැතිය ලබා දෙනු ඇත්දැයි සියල්ලන් විමසිල්ලෙන් බලා සිටිනවා. මේ අතර එංගලන්ත කණ්ඩායමට පහසුකම් සැපයීම භාරව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරී ට්‍රවිස් ප්‍රනාන්දුටත් කොරෝනා ආසාදනය වී ඇති බව එදිනම දැනගන්න ලැබීමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එදිනම දින නියමයක් නැතුව වසා දැමීමත් කැපී පෙනෙනවා. ඒ පිලිබද සවිස්තරාත්මක තොරතුරු ඇතුලත් අපගේ පෙර ලිපිය පහත දැක්වෙනවා.


    එංගලන්ත තරගාවලිය අවදානමේ - කොරෝනා නිසා ක්‍රිකට් ආයතනය වසයි


    අසන්ත හා මිකීගේ ක්‍රිකට් තේරීම් මාෆියාවෙන් මැච් පරදිද්දී ඇමති නාමල් නිදි - Exclusive Exposed




    No comments