• Breaking News

    ක්‍රිකට් ජෙරම්ට තවත් සුවිප් වාසනාවක් - Exclusive Exposed


    පය බරවාවට පිටිකර බෙහෙත් බැඳීමට උපන් හපන්කම් ඇති පිරිස ඉන්නේ කොහේදැයි කවුරුන් හෝ ඔබෙන් ඇසුවොත් බය නැතුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙන්වන්න. අන්ධයාගේ බූදලය වී ඇති එය බොහෝ දෙනෙක්ට පිං පඩි ගුහාවක් බවත් නොලියාම බැහැ. ඒ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිතර නිතර ලොතරැයි දිනුම් ඇදෙන පිරිසක්ද සිටිනවා. ඔවුන් අතර පෙරමුණේ පසුවන්නේ ජෙරම් ජයරත්නයි. අවමංගල්‍ය කටයුතු සදහා ජයරත්න මල් ශාලාව ප්‍රසිද්ධ සේම ක්‍රිකට් ඉල්ලම ගොඩ දැමීමට ප්‍රසිද්ධ ක්‍රිකට් ජයරත්නට ඇදෙන්න යන අලුත්ම ඉල්ලම වන කණ්ඩායම් කළමණාකරු තනතුර ගැන මෙතැන් සිට තොරතුරු පෙළ ගැස්වෙනවා.


    ජෙරම් ජයරත්න ක්‍රිකට් ආයතනයේ විශේෂ වරප්‍රසාද හිමිවන නිලධාරියෙක් බවට පත්ව ඇත්තේ රාජපක්ෂ පවුලට ඇති නෑකම නිසාවෙනුයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ බාලම පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ විවාහ වී සිටින්නේ ජෙරම් ජයරත්නගේ මුල් කසාදයේ බිරිඳගේ දියණිය වන ටට්යානාවයි. ප්‍රේම සබඳතාවක් මත සිදුවූ මෙම විවාහය නිසා ක්‍රිකට් ආයතනයේ ජෙරම් ජයරත්න, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ මස්සිනා වනවා. මෙම නෑකම හේතුවෙන් ජෙරම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිය ආධිපත්‍යය පතුරමින් කිහිප විටක්ම වැටුප් වැඩිකර ගත්තා.


    කලක් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩා පිටියේ පුහුණු ඇකඩමියේ ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පත්ව ආවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙසයි. එතෙක් නොපැවති මෙම තනතුර ඔහු වෙනුවෙන්ම නිර්මාණය වීම හේතුවෙන් වැටුප් වැඩිවීමක්ද සිදු වුණා. අනතුරුව එක ගලෙන් කුරුල්ලන් දෙන්නෙක් දඩයම් කරමින් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන් ඉවත් කළ බන්දුල සමන් වතුරේගම නම් හොරදෙටුවා සමගින් අලුත් ව්‍යාපාරයක් ආරම්භ කළා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරග කරන තරගාවලි සදහා ගුවන්විදුලි විස්තර විචාරය ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කෝටි ගණනක් මුදල් වැය කිරීමයි. එම ඩීල් එක අටවා ගැනීමෙන් පසු ඔහු යලිත් කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩා පිටියේ අධි තාක්ෂණය අංශ ප්‍රධානියා ලෙස පත්වීම් ලබන්නේ තවත් වැටුප් වර්ධකයක් සමගයි.


    රෝහිත රාජපක්ෂට දුන් අරුම පුදුම ක්‍රිකට් දෑවැද්ද - Exclusive


    මෙලෙස වැටුප් වර්ධක සමග පාට මාරු කරමින් තැනින් තැනට පනින ජෙරම් ජයරත්න තමන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලබා දුන් මෝටර් රථය සිය දෙවන බිරියට ලබා දෙන්නේ අධි තාක්ෂණ අංශ ප්‍රධානියා ලෙස පත්වීම් ලබාදීමෙන් පසුවයි. මේ අනුව ඔහු සිය රාජකාරි ගමන් සදහා ප්‍රේමදාස ක්‍රීඩා පිටියේ ඇති ත්‍රීරෝද රථය භාවිතා කරනවා. වරක් ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ පුහුණුකරුධූරය පුරප්පාඩු වීම නිසා අන්තර් කාලීන පුහුණුකරු බවට ජෙරම් ජයරත්නට උසස් වීමක් ලබා දෙනවා. ඒ මාසිකව රුපියල් ලක්ෂ පහක අතිරේක වැටුප් වැඩිවීමක් සමගයි. එදා එලෙස වැඩිකළ වැටුප් වැඩිවීම සිය මූලික වැටුපට එක්කර ගන්නා ඔහු අදටත් එම මුදල සාක්කුවට දා ගන්නේ කිසිදු හිරිකිතක් නැතුවයි. මේ අනුව ඔහු වැඩිම වැටුප් ලබන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සේවකයා බවට පත්ව සිටිනවා. 


    එලෙස හැමදාම ලොතරැයි දිනුම් ඇදෙන ජෙරම් ජයරත්න මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු ලෙස පත් කිරීමට සූදානම් වනවා. මෙම යෝජනාවට පළමුව අකමැත්ත ප්‍රකාශ කර සුපුරුදු කේවල් කිරීමට පසු තවත් අතිරේක දීමනාවක් සමගින් එය භාර ගැනීමට කැමැත්ත පළකර තිබෙනවා. මේ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගයෙන් පිරිහෙමින් ඇති විනය ගොඩ නැංවීමයි ඔහුට භාරවී ඇත්තේ. එය වක්කඩේ හකුරු හැංගීමක් ලෙස පහසුවෙන් විස්තර කළ හැකියි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු අසන්ත ද මෙල් මේ වන විට පැවැත්වෙන එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට පසු ඉල්ලා අස්වීමට නියමිත බව Lankasportsnews අප වාර්තා කළා. ඒ ක්‍රීඩාවේ ඉහළම තැනින් ලැබුණු නියෝගයකට අනුව බවත් අප අනාවරණය කළා ඔබට මතක ඇති. ඊට හේතුවූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් තරගය අතර ඕමි ක්‍රීඩා කරන ආකාරය විකාශය වීමයි. අනතුරුව යන යකා කොරහත් බිදන් යන ලෙසට ඊට වඩා විනය විරෝධී කටයුතු කණ්ඩායමේ සිදුවන බව කීමට හිතලුවක් සමාජගත කිරීමට ඔහු මූලිකත්වය ගත්තා.


    ලිංගික චෝදනා දාලා ක්‍රිකට් වනසන කුමන්ත්‍රණයේ සුලමුල - Exclusive Exposed


    මාධ්‍යට ලිංගික බේගලේ ගෙතුවේ ක්‍රිකට් මාධ්‍ය ඒකකයෙන් - Exclusive Exposed


    අසන්ත ද මෙල්ගේ ඇල් වතුරත් නිවල බොන ප්‍රතිපත්තියේ සිටින ජෙරම් ජයරත්න සියලු කටයුතු වලදී ශේප් න්‍යායේ සිටින්නෙක් බව සටහන් කළ යුතුයි. මේ අනුව ඔහුගෙන් විනය ගොඩනැංවීම බලාපොරොත්තු වීම ඉබ්බාගෙන් පිහාටු ඉල්ලීමක් පමණයි. එමෙන්ම බෝන් අගේන් කල්ලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන බලය අල්ලාගෙන සිටින අතර එහි ප්‍රභල ක්‍රියාකාරිකයෙක් ලෙස අසන්ත ද මෙල් පෙනී සිටියා. ඔහුගෙන් හිස්වන පුටුව ලැබෙන්න යන ජෙරම් ජයරත්නද බෝන් අගේන් නිකායේම සමාජිකයෙක් වීම කැපී පෙනෙනවා. මේ අනුව ජෙරම් ජයරත්න ශ්‍රී ලංකා ක්‍රිකට් විනය ගොඩනැංවුවහොත් එය ලෝක පුදුමයක් වනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් මේ වන විට පත්ව ඇති විනය පිරිහීම යලි ගොඩ නැංවීමට නම් හිටපු නායක අර්ජුන රණතුංග වැනි සෘජු නායකයෙක් කණ්ඩායමේ කළමනාකරු ලෙස පත්කළ යුතුයි. එසේ නැත්නම් බොහෝ රාජ්‍ය ආයතන වලට මේ වන විට පත්කර ඇති ලෙස ශ්‍රී ලංකා හමුදාවේ මේජර් ජනරාල්වරයෙක් පතකළ යුතුයි. එසේ නොමැතිව මේ සිදු කිරීමට යන්නේ ඇතා ගිලපු දිවුල වගේ ඇතුලත හිස් ජෙරම් ජයරත්නට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විනය භාරදීම අහසට ඉනිමං බැඳීමක් වැනි නිෂ්ඵල ක්‍රියාවක් බව අවසන් ලෙස සටහන් කළ යුතුයි.

     



    No comments