• Breaking News

    ක්‍රිකට් හතරගාතේ වට්ටපු අසන්ත ද මෙල්ගේ පැටිකිරිය - Exclusive Exposed


    කොහොඹ ගහට කරවිල වැල ගියා වගේ කියන්නේ නරකට නරක එක්වීමයි. කුණු වෙමින්, ගඳ ගසන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මේ වන විට එක්ව සිටින තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් කොරෝනාවටත් වඩා විශබීජයක් බව ප්‍රේක්ෂකයන් පවසනවා. ඒ වත්මන් ක්‍රිකට් පරාජයන් රැල්ලේ නිර්මාතෘ ලෙස ඔහුව හඳුන්වමින්. දිගින් දිගටම සිදුකරන වැරදි තේරීම්වල වන්දිය දකුණු අප්‍රිකාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගෙවනු ලැබුවේ ඓතිහාසික ටෙස්ට් ක්‍රිකට් පරාජයක් ලබමිනුයි. එහි අඩු වැඩිය මෙරටදීම සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තෝරාගෙන ඇත්තේ එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියයි. දෙරට අතර ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේදීම ශ්‍රී ලංකා කණ්ඩායම හතරගාතේ ඇද වැටීමේ තිරය පිටුපස කතාව මෙතැන් සිට ගෙතෙනවා.



    සංචාරක එංගලන්ත කණ්ඩායම සහ  ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී, ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේ පළමු ඉනිමේදී කණ්ඩායමක් රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාව ශී‍්‍ර ලංකා කණ්ඩායම ඊයේ වාර්තා කළා. ඒ, මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පිටියට පිවිසි ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 135 කට සීමා වීමත් සමගයි. ඇගිල්ලක ආබාධයක් හේතුවෙන් නිත්‍ය නායක දිමුත් කරුණාරත්න මෙම තරගයට කී‍්‍රඩා නොකරන අතර දිනේෂ් චන්දිමාල් මෙම තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදෙනවා. දිමුත් මෙම ආබාධයට ලක්වූයේ දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී වන අතර එහි සිට පැමිණ පුහුණුවීම් සදහාත් ඔහු එක්වුණා. තරග ආරම්භක දිනයේ උදෑසන වන තුරුම සිය ආබාධය සැගවූ ඔහු නව නායකයෙක් සහිතව කණ්ඩායම තෝරා ගැනීමට තිබූ අවස්ථාව හිතා මතා අහිමි කළේද යන්න ගැටලුවක් වී තිබෙනවා. ඒ දකුණු අප්‍රිකාවේදී අසාර්ථක වූ ක්‍රීඩකයින් තෝරා ගැනීම සදහා නායකයාගේ කොටස ඉටු කිරීම වෙනුවෙන් දැයි සැකයක් මතු වනවා. ඒ එහිදී අසාර්ථක වූ ක්‍රීඩකයින්ම මෙම තරගාවලියටත් නම්කර තිබීම හේතුවෙනුයි.

    අසන්ත හා මිකීගේ ක්‍රිකට් තේරීම් මාෆියාවෙන් මැච් පරදිද්දී ඇමති නාමල් නිදි - Exclusive Exposed



    ශී‍්‍ර ලංකා පිතිකරුවන්ගේ වගකීම් විරහිත පිතිහරඹය යලිත් ප්‍රදර්ශනය කරමින් කුසල් මෙන්ඩිස් මෙම තරගයේදී වාර්තා පොත් අතරට එක් වූයේ පිට පිටම ටෙස්ට් ඉනිම් 4 කදී ලකුණු නොලබා දැවී ගිය 3 වන ශී‍්‍ර ලාංකික කී‍්‍රඩකයා බවට පත්වෙමින්. මීට පෙර ගයි ද අල්විස් සහ නුවන් ප‍්‍රදීප් මෙලෙස පිට පිට ටෙස්ට් ඉනිම් 4 කදී ලකුණු නොලබා දැවී ගොස් තිබුණා. එමෙන්ම මුල්පෙළ පිතිකරුවන් අතරින් පිට පිටම ටෙස්ට් ඉනිම් 4 කදී ලකුණු නොලබා දැවී ගිය සිව් වන කී‍්‍රඩකයා ලෙසද කුසල් මෙන්ඩිස් අද වාර්තා පොත් අතරට එක් වුණා. මීට පෙර මුල්පෙළ පිතිකරුවන් වන ඉන්දියාවේ පන්කාච් රෝයි, නවසීලන්තයේ ලෝරි මිලර්, ඔස්ටේ‍්‍රලියාවේ මාර්ක් වෝ මෙලෙස පිට පිට ටෙස්ට් ඉනිම් 4 කදී ලකුණු නොලබා දැවී ගොස් තිබෙනවා. කුසල් මෙන්ඩිස් මෙලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කෙතරම් අසාර්ථක වුවත් ස්ථානය අහිමි නොවන්නේ වත්මන් තේරීම් කමිටු සාමාජික චමින්ද මෙන්ඩිස්ගේ ඥාතියෙක් නිසාදැයි ක්‍රීඩා ලෝලීන් ප්‍රශ්න කරනවා.

     


    අද තරගයේදී නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 28 ක් සහ ඇන්ජලෝ මැතිව්ස් 27 ක් රැස් කළා. මැතිව්ස් අද තරගයේදී ටෙස්ට් ලකුණු හය දහසේ සීමාව පසු කළ අතර ඔහු වාර්තා පොත් අතරට එක් වූයේ ටෙස්ට් ලකුණු 6,000 සීමාව පසු කළ 5 වන ශී‍්‍ර ලාංකික පිතිකරුවා ලෙසයි. මේ අතර දිගින් දිගටම අසාර්ථක ලහිරු තිරිමාන්න ආරම්භක පිතිකරු ලෙස පිටියට පැමිණ මෙම තරගයේදීත් ලබා ගත්තේ ලකුණු 4 ක් පමණයි. ඒත් සමගින් ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවෙක් වාර්තා කළ අඩුම ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය වාර්තා කරමින් ටෙස්ට් ක්‍රිකට් ලෝක වාර්තාවක් ඔහු පිහිටවූවා. ටෙස්ට් ක්‍රිකට් තරග 37 කදී ඉනිම 70 ක ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය වන්නේ 22.06 ක්. 1877 වසරේ සිට ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පිතිකරුවෙක් ලෙස කණ්ඩායමට එක්වූවෙක් ලකුණු 06 ට අඩුවෙන් ලබාගත් වැඩිම අවස්ථාවන්ට හිමිකම් කියන්නෙත් තිරිමාන්නයි. මෙවන් අසාර්ථක ක්‍රීඩකයෙක්ට දිගින් දිගටම කණ්ඩායමේ ස්ථානය වෙන් වන්නේ දේශපාලන හිතවත්කම් නිසාදැයි සැකයක් මතු වනවා. ලහිරු තිරිමාන්න පසුගිය මහ මැතිවරණයේදී වත්මන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ දිනවීමට එළිපිට වැඩ කළ අයෙක් වීම ඊට හේතුව ලෙස ප්‍රේක්ෂකයන් පවසනවා.








    තේරීම් කමිටුවේ 7 දෙනෙක් සිටියත් කණ්ඩායම තෝරා ගන්නේ ඉන් දෙදෙනෙක්ගේ හිතැගි අනුව බව වාර්තා වනවා. ඒ තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් හා චමින්ද මෙන්ඩිස් කියන දෙදෙනායි. ඔවුන් ඊට අමතරව නායකයා හා පුහුණුකරු තේරීම් සදහා දායක කරගන්නා බව සදහන්. අනෙක් තේරීම් කමිටු සාමාජිකයින් එහෙයියන් පිරිසක් පමණක් බවයි වාර්තා වෙන්නේ. වරක් ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා ලෙස මාවන් අතපත්තු ඕස්ට්‍රේලියාවේදී තරගයකින් පසු කියා සිටියේ තේරීම් කමිටු සාමාජිකයින් විහිලුකාරයින් පිරිසක් බවයි. තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් ඒ වන විටත් සිටියේ ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ලෙසයි. එදා අසන්ත ද මෙල් විහිලුකාරයින්ට නායකත්වය දෙන හොදම විහිලුකාරයා කිව්වේ මාවන් අතපත්තු පමණක් වුවත් අද ක්‍රිකට් ලෝලීන් සියල්ලම ඒ බව කියනවා. තේරීම් කමිටු සභාපති ලෙස පමණක් නොව කණ්ඩායම් කළමනාකරු ලෙසත් මෙල් එක්වීම නිසා කණ්ඩායමේ පුහුණුකරුවන්ට හා ක්‍රීඩකයින්ට ඕනෑ ලෙස නටනවාදැයි ඇතමුන් ප්‍රශ්න කරනවා. කෙතරම් අසාර්ථක වුවත් අසන්ත ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ලෙස සිටින්නේ අග්‍රාමාත්‍ය ආර්‍යා ශිරන්ති රාජපක්ෂට ඇති නෑදෑකමත් නිසා බවයි ප්‍රේක්ෂකයන් පවසන්නේ. 


    මෙම තරගය ගාල්ල කොටු පවුරේ සිට නරඹමින් සිටි එංගලන්ත ජාතිකයෙක්ව එම ස්ථානයෙන් ඉවත් කිරීමට පොලීසිය පියවර ගත්තා. මෙලෙස ඉවත් කිරීමට පියවර ගෙන ඇත්තේ එරට සුප්‍රකට ක්‍රිකට් ලෝලීන් පිරිසක් වන බාමි ආමි සමාජයේ සාමාජිකයෙක්ව වනවා. ඔහු මෙම තරගය නැරඹීමට මාස 10 කට අධික කාලයක් ශ්‍රී ලංකාවේ රැදී සිටි අයෙක් වනවා. මෙම තරගාවලිය පැවැත්වීමට එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම පළමුව මෙරටට පැමිණියේ පසුගිය වසරේ මාර්තු මාසයේදීයි. එහෙත් කොරෝනා ව්‍යාප්තිය ආරම්භ වූ එම කාලයේ යලි තරගාවලිය හැරදා සිය රටට යාමට එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම කටයුතු කළා. පොලීසිය ගත් මෙම පියවරත් සමග යලි තරග නැරඹීමට බාමි ආමි ක්‍රිකට් ලෝලීන් මෙරටට පැමිණ සිය ධනය වැය කරනු ඇත්දැයි සැකයක් මතු වනවා. කිසිදු ප්‍රේක්ෂකයෙක් නැතුව, තනිව හුදකලා ලෙස තරග නැරඹූ විදෙස් ප්‍රේක්ෂයෙක්ව ශ්‍රී ලංකා පොලීසිය මෙලෙස ඉවත් කිරීම ජාත්‍යන්තර මාධ්‍ය දැඩිව විවේචනය කර තිබෙනවා. මෙවන් තත්වයක ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තය නගා සිටුවීමට පියවර ගැනීම හාස්‍යට කරුණක් ලෙසයි ඔවුන් පෙන්වා දෙන්නේ.






    මේ අතර මේ වන විට පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිය පළමු ඉනිම කී‍්‍රඩා කරන එංගලන්ත කණ්ඩායම පළමු දිනය නිමා වනවිට කඩුළු 2 ක් දැවී ලකුණු 127 ක් ලබා සිටියා. සාක් ක‍්‍රවුලි ලකුණු 9 කටත් දොම් සිබ්ලි ලකුණු 4 කටත් දැවී ගියා. එම කඩුළු දෙකම දවා ගත්තේ ලසිත් ඇඹුල්දෙණියයි. කලකට පසු ශ්‍රී ලංකාවේදී ටෙස්ට් ක්‍රිකට් තරගයක ඉනිමක පරාජයක් ලබන තැනට සත්කාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පැමිණ සිටිනවා. මෙම තත්වය තව දුරටත් පැවතිය හොත් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ක්‍රීඩකයින්ට හා බලධාරීන්ට හූ හඬ මැද ගල් මුල් වලින් සැලකීමට කටයුතු නොකරනු ඇතැයි කීමට කිසිවෙකුට බැහැ. එවන් අවාසනාවන්ත තත්වයක් ඇති වුවහොත් ඊට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂටත් වන්දි ගෙවීමට සිදු වන්නේ ඔහුගේ දේශපාලන අනාගතයෙන්ම බව ලියා තැබිය යුතුමයි. ඒ සියලු වැරදි අනුමත කරමින් ක්‍රිකට් විනාස කළ ක්‍රීඩා ඇමති ලෙස ඉතිහාසයට එක් වෙමිනුයි.



    No comments