• Breaking News

    අසන්ත හා මිකීගේ ක්‍රිකට් තේරීම් මාෆියාවෙන් මැච් පරදිද්දී ඇමති නාමල් නිදි - Exclusive Exposed


    පන්ඩිතයට ඒදන්ඩේ යන්න බෑ කියන කතාව අහල තිබුණට දැකල තිබුණෙ නැති අයට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්න ද මෙල් මේ දිනවල එය ප්‍රදර්ශනය කරමින් යනවා. ඒ දකුණු අප්‍රිකා ගහෙන් වැටුනු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට ගොනාත් අන්නවන්න සලස්වමිනුයි. දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අන්ත අසරණ වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී වල පල්ලටම ඇද දැමීමේ පිඹුරුපත් සකසා අවසන්. ඔබට පෙනෙන ක්‍රීඩකයින්ගේ පරාජයන් වැළඳ ගැනීමේ කතාවේ තිරය පිටුපස සිටින නිර්මාතෘවරු ගැන මෙතැන් සිට දිග හැරෙනවා.  


    දකුණු අප්‍රිකාව සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය දින තුනකින් අවසන් වුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලකුණු 45 ක හා ඉනිමක පරාජයක් ලබමිනුයි. ඊට ප්‍රධානම හේතුවක් වූයේ ක්‍රීඩකයින් 5 දෙනෙකු ආබාධයන්ට ගොදුරු වීමයි. එම තරගයේ ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 396 ක් ලබා ගත්තා. එහෙත් ආබාධ හේතුවෙන් දෙවන ඉනිම ලකුණු 180 කට සීමා වුණා. මේ වන විට පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයට එම පළමු තරගයට ක්‍රීඩා කළ ක්‍රීඩකයින් 4 දෙනෙක් ආබාධ හේතුවෙන් ඇතුලත්ව නැහැ.  ඒ දිනේෂ් චන්දිමාල්, දනංජය ද සිල්වා, කසුන් රාජිත හා ලහිරු කුමාරයි. ඔවුන් වෙනුවට කණ්ඩායමට එක්ව ඇත්තේ ලහිරු තිරිමාන්න, මිනෝද් භානුක, දුෂ්මන්ත චමීර හා අසිත ප්‍රනාන්දුයි. මෙය අසිතගේ මංගල ටෙස්ට් ක්‍රිකට් තරගය වනවා. මෙම තරගාවලියට පිතිකරුවෙක් ලෙස එක්වූ ඕෂද ප්‍රනාන්දු ක්‍රිකට් ආයතනයේ වියදම්න් ගිය තරග නරඹන්නෙක් වී අවසන්. ඒ ශරීර යෝග්‍යතාව ගැන සැලකිලිමත් නොවී ඔහුව සංචාරයට එක්කර ගැනීම හේතුවෙනුයි. මෙම තරගාවලිය එක්වූ ක්‍රීඩකයින් 22 නෙකුගෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තෝරා ගත්තේ හොර රහසේයි. තේරීම් කමිටුවක් නැතුව සිදුකළ එම අමනොඥ ක්‍රියාවේ හා ප්‍රධාන පුහුණුකරු මිකී ආතර මෙන්ම පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් ක්‍රිකට් ආයතන මුදලින් සැප ගැනීමේ ප්‍රතිවිපාකයි මේ ලබමින් සිටින්නේ. මේ පිලිබද වෙන්න කලින් Lankasportsnews අප මෙලෙස අනාවරණය කළා.


    LPL උන්මාදයෙන් අප්‍රිකා ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉනිමකින් පැරදුනේ ඇයි ? Exclusive Exposed


    දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයත් ඉනිමක පරාජයක් සමගින් දින තුනකින් අවසන් වීමේ පෙරණිමිති මේ වන විට පහල කර අවසන්. ඒ තරගයේ පළමු දිනයේදීම කාසියේ වාසිය දිනා පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලකුණු 157 කට දැවී යාමත් සමගයි. එහිදී ශ්‍රී ලංකා පිතිකරුවන් 7 දෙනෙක්ම ලකුණු 7 සීමාව පසු නොකිරීම කැපී පෙනෙනවා. නායක දිමුත් කරුණාරත්නගේ වචන වලින්ම කියනවා නම් ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් කර තේරීම් කමිටුව හා පුහුණුකරුවන් අසමත් බව ඔප්පු කර තිබෙනවා. තරගයට පෙර දිමුත් ඒ ගැන මෙලෙස අදහස් පළ කළා.

    ගිණි පෙල්ලෙන් බැට කෑ විට කණාමැදිරි එලියටත් බය බව නිතර ඔබ අසා ඇති. එහෙත් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තරයේ සිදුව ඇත්තේ එහි අනික් පැත්තයි. එළඹෙන එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරග දෙක සදහා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයින් යලිත් හොර රහසේම තෝරාගෙන තිබෙනවා. ඒ තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල්, ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් හා නායක දිමුත් කරුණාරත්න යන තුන් කට්ටුව විසිනුයි. ඔවුන් මෙම සංචාරයට ගිය ක්‍රීඩකයි 22 නාට අමතරව ක්‍රීඩකයි හය දෙනෙක් ඇතුලත් කිරීමට සූදානම් වනවා. ක්‍රිකට් ආයතනය ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා එම නම් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ අනුමැතියට යොමුකර ඇතැයි වාර්තා වනවා. ඊට හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් හා නුවන් ප්‍රදීප් ද ඇතුලත්. ඔවුන් දෙදෙනාම ලංකා ප්‍රිමියර් ලීග් (LPL 2020) ක්‍රිකට් තරගාවලියේදී ආබාධයන්ට ලක් වුණා. එම ආබාධ සම්පූර්ණ සුවය ලබා ඇතැයි කිසිදු වාර්තාවක් නැතුවයි මෙලෙස නම් කිරීමට සූදානම් වන්නේ. එය දකුණු අප්‍රිකාවේදී මේ වන විට ආබාධ නිසා බැට කමින් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉල්ලන් කෑමක් බවට පත් නොවනු ඇතැයි කීමට කිසිවෙක්ට බැහැ. මෙම තේරීම් පිලිබදවත් සෙසු ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයින් කිසිවක් දන්නේ නැහැ. මේ අනුව ඔවුන්ව පඹයින් බවට පත්කර ඇති බව Lankasportsnews අප තහවුරු කර ගත්තා.



    මෙලෙස හොර රහසේ සිදුවන තේරීම් සදහා දක්ෂතා දක්වූ ක්‍රීඩකයින් ඇතුලත් නොවීම පිටුපස බුකීකරුවන්ගේ හස්තයක් ඇත්දැයි සැක මතුවනවා. ඒ පැතුම් නිශ්ෂංක වැනි දක්ෂයින්ව අමතක කර එක් ඉනිමකින්ම ආබාධ වන සම්පූර්ණ ශරීර යෝග්‍යතාව නැති ක්‍රීඩකයින් ඇතුලත් කිරීම හේතුවෙනුයි. ඒ පරාජයන්ට අත වනා කැන්දා ගැනීමක් ලෙසයි. දකුණු අප්‍රිකා සංචාරයට ඇතුලත් ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් වෛද්‍යවරුන් දෙදෙනෙක් හා භෞතචිකිත්සකවරයෙක් ඇතැත් ඔවුන් වන්දනා නඩයක් බවට පත්ව ඇති බව පෙනී යනවා. ලංකා ප්‍රිමියර් ලීග් (LPL) වැනි තරගාවලි තුලින් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉහළ නැංවිය නොහැකි බව දැන්වත් බලධාරීන් තේරුම් ගත යුතුයි. මෙවන් කටයුතු සදහායි දූරදර්ශී පරිපාලනයක අවශ්‍යතාව මතු වන්නේ. ක්‍රිකට් තුලින් මුදල් ඉපැයීම ඉතා පහසු බව හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල නිදහස් කුසලාන තරගාවලියෙන් ඔප්පු කළා. ඔහුම අදූරදර්ශි පරිපාලනය හේතුවෙන් ලෝකයේ දූෂිතම ක්‍රිකට් රට බවට ශ්‍රී ලංකා පත් කළා. මේ වන විට එතනිනුත් ඔබ්බට යමිනුයි ශ්‍රී ලංකා ක්‍රිකට් ඇත්තේ.


    සාමාන්‍යයෙන් ඕනෑම පරිපාලකයෙක් පත්වූ විට කියන සුපුරුදු කතාව මම දියුණු කරනවා යන්නයි. මේ වන විට ක්‍රිකට් ආයතනයත් මදි නොකින්න එලෙසම දියුණු  වෙමින් තිබෙනවා. ඒ දූෂණයෙන් පමණක් නොව පරාජයන් උරුම කර ගැනීමෙන්ද වීමයි කණගාටුවට කරුණ. මෙලෙස තවත් කලක් ගත වුවහොත් ප්‍රේක්ෂකයන් ක්‍රිකට් පිටියෙන් නුදුරේදීම ඈත්වේවි. එදාට සිදුවන සියල්ල අඳ ගොලු බිහිරි ලෙස බලා සිටින ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂටත් වගඋත්තර බැඳීමට සිදුවනු ඇති. මෙලෙස හිතු මනාපේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කිරීම නිසා වරක් ගුවන් යානයට නැගි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම යලි ගෙන්වා ගැනීමට එවක ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර කටයුතු කළා. එහෙත් කටින් බතල හිටවන ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂට හොරෙන් තේරූ කණ්ඩායමක් අනුමැතිය ඇතුව ගොස් මේ වන විට දකුණු අප්‍රිකාවේ හතර ගාතේ වැටී සිටිනවා. සමාජ මාධ්‍ය ඔස්සේ චරිතයක් වීමට ඇගිලි ගනින අමාත්‍ය නාමල් එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් සංචාරයට හෝ දක්ෂයින් ඇතුලත් කිරීමට කටයුතු කරනු ඇත්දැයි රටම බලා සිටිනවා. එහෙත් ක්‍රිකට් ආයතන පදේට නටන ඇමති නාමල්ගෙන් එවැන්නක් බලාපොරොත්තු වීම ඉබ්බාගෙන් පිහාටු ඉල්ලීමක් බව ඔබට සිතෙනවාද ?






    No comments