ජාතික බැඩ්මින්ටන් පුහුණුකරු ගැන පොලිස් පරීක්ෂණ ?
වඳුරා හැට පැන්නත් බිමින් යන්නේ නැහැ. ඒ වගේම ඇතමුන් සිය පුරුදු වෙනස් කර ගැනීමට මැලිවනවා. ක්‍රීඩා ක්ෂේත්රයේ මෙය සුලභව දැකිය හැකි කරුණක්. පුහුණුකරුවන් ගත්තත් ක්‍රීඩකයින් ගත්තත් එහි වෙනසක් ඇත්තේ නැහැ. ජාතික බැඩ්මින්ටන් පුහුණුකරු ලෙස යලිත් පත්වීම් ලද පුද්ගලයා ගැන හොයන්න විශ්‍රාමික පොලිස් පරීක්ෂකයෙක්ගේ සේවය ලබා ගැනීමට තීරණය කර තිබෙනවා. ජාතික බැඩ්මින්ටන් සංගමයේ උප සභාපති පාලිත හෙට්ටිආරච්චි ඒබව තහවුරු කළා. මෙලෙස පරීක්ෂණයක් කැඳවා ඇත්තේ ළාබාල බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක්ට බලෙන් මධ්‍යසාර පෙවීම පිලිබදවයි. ඒ පිලිබද සවිස්තරාත්මකව මෙතැන් සිට දිග හැරෙනවා.
2019 වසරේ චිනයේ පැවති ආසියා බැඩ්මින්ටන් තරගාවලියට ගිය ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ගුවන් යානයෙන් යලි දිවයිනට පැමිණියේ නැහැ. ඒ ඊට එක්වූ මෙරට පුහුණුකරු සිය කණ්ඩායම රැගෙන මිත්‍රයකුගේ නිවසේ පැවති සාදයකය යාම හේතුවෙන්. එහිදී මත්පැන් පානය කර පමණට වඩා වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙසයි ගුවන් යානයට නියමිත වෙලාවට පැමිණීමට නොහැකි වී ඇත්තේ. මෙම පුහුණුකරු ගැන ක්ෂේත්රයේ කතා රැසක් පවතිනවා. කෙසේ වෙතත් ඊට දඩුවම් ලබාදීමට ජාතික බැඩ්මින්ටන් සංගමය කටයුතු කළේ නැහැ. මේ අනුව පසුගිය වසරේ ජූලි මාසයේදී ඔහු යලිත් ජාතික බැඩ්මින්ටන් පුහුණුකරු ලෙස පත්වුණා. එම පත්වීම නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න ඉඩ හැරීමක් බවට පත්වනු ඇතැයි එහිදී Lankasportsnews අප අනතුරු ඇඟවීම අද සත්‍යක් බවට පත්ව තිබෙනවා. එම අපගේ පසුගිය ලිපියයි පහත දැක්වෙන්නේ.
විනය කැඩීමේ දඩුවම ලෙස ජාතික පුහුණුකරු කරලා - Exclusive Exposed
මෙලෙස බැඩ්මින්ටන් සිය බූදලයක් කරගත් මෙම ජාතික පුහුණුකරු පසුගියදා පැවති බැඩ්මින්ටන් ලීග් තරගාවලියේ සදර්න් ස්ටාර්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙසත් කටයුතු කළා. එම තරගාවලියට ගාල්ලේ සිට පැමිණි ක්‍රීඩකයින් දෙදෙනෙක්ට සිය නිවසේ නවාතැන් දීමට මෙම පුහුණුකරු ඉදිරිපත් වුණේ එම දෙමාපියන්ගේද කැමැත්ත ඇතුවයි. මේ අනුව තරගාවලිය ආරම්භ වීමට පෙර එහි පැමිණි 16 හා 18 වයස්වල ක්‍රීඩකයින් සමගින් බීමත් වීමට මෙම පුහුණුකරු කටයුතු කර ඇත්තේ කොළඹ අවන්හලකට ගොඩවී බව සදහන්. එහිදී මෙම බාල වයස්කාර ක්‍රීඩකයාට වෙරි වී වමනය යාම සිදුව තිබෙනවා. එම මොහොතේ මෙම ක්‍රීඩකයාගේ පියා දුරකථන ඇමතුමක් ලබා දී ඇත්තේ දරුවන් සුරක්ෂිතව ඇත්දැයි තහවුරු කර ගැනීමටයි. එහෙත් ක්‍රීඩකයා හෝ මිතුරා මෙන්ම පුහුණුකරු දුරකථනයට පිලිතුරු දී නැහැ. ඒ පිලිතුරු දුන්නා නම් වෙරි වී වමනේ දමමින් සිටින පුත්‍රයා ගැන හෙළිවන නිසයි. මේ අනුව එය යන්තම් බේරා ගැනීමට මෙම තුන් කට්ටුව සමත් වී තිබෙනවා.
කෙසේ වෙතත් මෙම සිදුවීම ක්‍රීඩකයාගේ පියා දැනගෙන ඇත්තේ තරගාවලිය පැවැත්වෙන අතර තුරදීයි. ඒ වන විට ක්‍රීඩකයින්ට නවාතැන් ගැනීම සදහා ජාතික බැඩ්මින්ටන් සංගමය කොළඹ බගතලේ පාරෙන් නේවාසික පහසුකම් සපයා තිබෙනවා. තම පුත්‍රයාට මත්පැන් පොවා නොමග යැවීම පිළිබඳ උරණ ඌ මෙම පියා වහාම ඒ පිළිබඳ ජාතික බැඩ්මින්ටන් සංගමයට ලිඛිත පැමිණිල්ලක් කිරීමට කටයුතු කර තිබෙනවා. මේ පිළිබඳ Lankasportsnews අප ජාතික බැඩ්මින්ටන් සංගමයේ උප සභාපති පාලිත හෙට්ටිආරච්චිගෙන් විමසීමක් කළා. එහිදී ඔහු කියා සිටියේ බාල වයස්කාර ක්‍රීඩකයෙක් නොමග යවමින් මත්පැන් බලහත්කාරයෙන් පෙවීම යනු බරපතල චෝදනාවක් බවයි. මේ අනුව එය විභාග කිරීමට ස්වාධීන, හිටපු පොලිස් පරීක්ෂකයෙක්ගේ සේවය ලබා ගන්නා බව ඔහු කියා සිටියා. මෙම පරීක්ෂණය දින කිහිපයක් තුල අවසන් කරන බවත් පාලිත හෙට්ටිආරච්චි වැඩිදුරටත් කියා සිටියා. එහෙත් ක්‍රීඩා ක්ෂේත්රයේ මෙතෙක් සිදුකළ මෙවැනි පරීක්ෂණවල ප්‍රතිඵලය කිසිදා නිකුත්වී නැති අතර වැරදිකරුවන්ට දඩුවම් ලබා දීමක්ද සිදුව නැහැ.
ක්‍රිකට් ආයතනය දුටුවිට බයෙන් සලිතවන බව කියන ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ එය ඉදිරිපස පිහිටා ඇති ජාතික බැඩ්මින්ටන් සංගමයේ මෙම සිදුවීම ගැන හෝ සොයා බලනු ඇත්දැයි සියල්ලන් විමසිල්ලෙන් බලා සිටිනවා. වැරදිකරුවන්ට තරාතිරම නොබලා දඩුවම් ලබා දෙන බව නිතර කියන අමාත්‍යවරයාට එය කටින් බතල සිටුවීමක් නොවන බව තහවුරු කිරීමට මෙය කදිම අවස්ථාවක් වනවා. මෙහිදී අගතියට පත්ව ඇත්තේ පැමිණිල්ලේ සදහන් ක්‍රීඩකයාද නැත්නම් ඔහුට උදව් කිරීමට ඉදිරිපත් වූ පුහුණුකරුද යන්න සෙවීම ක්‍රීඩා අමාත්‍යාංශය සතු වනවා. කෙසේ වෙතත් මෙම පුහුණුකරුට පෙර වැරදි ඇති බව අපගේ පෙර ලිපිය කියවීමෙන් ඔබට සනාථ වනු ඇති. සිදුවන සියල්ල Lankasportsnews අප විමසිල්ලෙන් බලා සිටිමින් තිරය පිටුපස සිදුවීම් ඔබවෙත ගෙන ඒමට සුපුරුදු ලෙසම සූදානම් වනවා. ඒ සාක්කු පුරවා ගැනීම වෙනුවෙන් හා විදෙස් සංචාර සදහා පෑන හසුරුවන බොහෝ වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන්ට ආදර්ශයක් සපයමිනුයි.
No comments