• Breaking News

    එංගලන්තයේ අලී ලංකාවට ගෙනා කොරෝනා කොතනින් නතර වෙයිද ?


    ශ්‍රී ලංකාවේ කොරෝනා ව්‍යාපෘතියට අලුතින් එකතු වූ පොකුර වූයේ එංගලන්ත මොයින් අලී පොකුරයි. ලෝක කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තරග දෙකක් සදහා එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියා. එංගලන්තයේ සිදුකළ PCR පරීක්ෂණයෙන් තහවුරු නොවූ නමුත් ලංකාවේදී සිදුකළ PCR පරීක්ෂණයෙන් කොරෝනා ආසාධිතයෙක් ලෙස මොයින් අලීව තහවුරු වුණා. මේ අනුව ඔහුව නිරෝදායනයට යොමුකර තිබෙනවා. ඒ අතරම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් දින නියමයක් නැතුව වසා දැමුනේ ට්‍රවිස් ප්‍රනාන්දුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමගයි. එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සම්බන්ධීකරණ නිලධාරියාවත් යලි කොළඹට කැඳවා තිබෙනවා.


    2020 මාර්තුවේදී ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචාරයට එක්වූ එංගලන්ත කණ්ඩායම තරගාවලියේ දෙවන පුහුණු තරගය අතර හැරී ගියා. එලෙසම පසුගිය දෙසැම්බරයේ දකුණු අප්‍රිකාවේ පැවති පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය නිමාවීමෙන් පසු එක්දින ක්‍රිකට් තරගාවලියට එක් නොවී හැරී ගියා. ඒ කොරෝනා ආසාධිතයින් එම රටවලින් වාර්තා වීම හුවා දක්වමින්. එවන් එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම පසුගිය තුන්වනදා යලි ශ්‍රී ලංකාවට පැමිණියේ අතහැර දමා ගිය තරග දෙක ක්‍රීඩා කිරීම සදහායි. එහෙත් ඒ එන විට ඔවුන් පැමිණියේ එංගලන්තයේ මේ වන විට ව්‍යාප්ත වන නව කොරෝනා ආසාදනය වූ මොයින් අලී සමගයි. ඔහුව නිරෝදායනය කිරීමටත් සමීප සබදතා පැවැත්වූ ක්‍රිස් වෝක්ස්ව හුදකලා කිරීමටත් මේ වන විට කටයුතු කර අවසන්. පහත සබැඳියාව ඒ පිළිබඳ අපගේ පෙර ලිපියයි.


    අලීට කොරෝනා - එංගලන්ත කණ්ඩායමටම අදත් PCR


    එංගලන්ත ක්‍රීඩකයා ආසාදනය වී ඇති බව තහවුරු වන විටම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් වසා දැමුණා. ඒ මෙම තරගාවලියට පහසුකම් සැපයීම භාරව සිටි ට්‍රවිස් ප්‍රනාන්දුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමගයි. ජනවාරි පළමු වැනිදා ක්‍රිකට් ආයතනයේදී පැවති සාදයේ ප්‍රධාන භූමිකාවක් රගපෑ ට්‍රවිස් සේවකයින් සමග සමීප සබදතා පැවැත්වීම ඊට හේතු වුණා. ට්‍රවිස් ප්‍රනාන්දු සමග එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට පහසුකම් සැපයීමට එක්වූ ශ්‍රී ලංකා සම්බන්ධීකරණ නිලධාරියා වන (Liaison officer) චිත්‍රාල් මෙන්ඩිස්ව කොළඹට කැඳවා තිබෙනවා. ඒ හුදකලා කිරීම සදහායි. මේ අතර එංගලන්ත කණ්ඩායමේ ඊයේ (2021/01/05) සිදුකළ PCR පරීක්ෂණ ප්‍රතිඵලය මෙතෙක් ලැබී නැහැ. ඒවා අද දිනයේ ලබාදෙනු ඇති.


    එංගලන්ත තරගාවලිය අවදානමේ - කොරෝනා නිසා ක්‍රිකට් ආයතනය වසයි


    එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පෝලිම් මේ දිනවල නවලෝක පෞද්ගලික රෝහලේදී PCR පරීක්ෂණ සදහා දැකිය හැකියි. මේ අතර එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ සිදුකරන PCR පරීක්ෂණ සිදු කිරීම භාරව කටයුතු කරන්නේද එම රෝහලමයි. මීට පෙර පැවති ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2020 ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන විට සෑම දිනකම PCR පරීක්ෂණ සිදුකළේද නවලෝක පෞද්ගලික රෝහලයි. මේ අනුව ක්‍රිකට් ආයතනයට එක් සතියකට මිලියන ගණනක් ඒ වෙනුවෙන් නවලෝක පෞද්ගලික රෝහලට ලබා දීමට සිදුව තිබෙනවා. පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන උප සභාපති ලෙස පත්වූ ජයන්ත ධර්මදාස නවලෝක රෝහලේ හිමිකරු වන එහි සභාපතිවරයායි.


    මේ අතර බැගේජ් බෝයි ලෙස එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට පහසුකම් ලබාදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරියාට කොරෝනා ආසාදනය වී ඇති බව මෙතෙක් තහවුරු වී නැහැ. එමෙන්ම එංගලන්ත කණ්ඩායම සමගින් කටයුතු කළ වෙනත් පහසුකම් සැපයීමේ කිසිදු නිලධාරියෙක්ටත් කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වෙන්නේ නැහැ. එහෙත් දිගටම PCR පරීක්ෂණ සිදුවනවා. මේ අතර එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම හෝටල් කාමර තුලට වී කොරෝනා බියෙන් පසුවනවා. කොරෝනා රෝගයේ ඇති විශේෂ ලක්ෂණයක් වන්නේ ඇතැම් විට ආසාදනය වී දින 7 ක් යන තුරුත් PCR පරීක්ෂණ මගින් තහවුරු නොවීමයි. එමෙන්ම ආසාධිතයින් සියයට 50 කට රෝග ලක්ෂණ නොපෙන්වන බව විද්‍යාඥයන් පවසනවා. එංගලන්තය නව වාර්තාවක් තබමින් ඊයේ එරටින් දිනකදී හමුවූ වැඩිම ආසාධිතයින් පිරිස හමුව ඇත්තේ 60,000 ක් ඉක්මවමින් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා. එමෙන්ම ලබන මාර්තු මාසය දක්වා එරට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර සම්පූර්ණයෙන් වසා දැමීමටයි කටයුතු කර ඇත්තේ. මේ අනුව තවත් කොරෝනා ආසාධිතයින් එංගලන්ත කණ්ඩායම තුලින් හෝ පහසුකම් සපයන පිරිස අතරින් ශ්‍රී ලංකාවේදී හමුවුවහොත් ඔවුන් යලි හැරී යනු නොඅනුමානයි.


    No comments