• Breaking News

    එංගලන්ත තරගාවලිය අවදානමේ - කොරෝනා නිසා ක්‍රිකට් ආයතනය වසයි


    පුදනකොටම කාපි යකා කියන කතාව ඔබ අසා ඇති. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට මුහුණ දී සිටින්නේත් එවන් අවධානමකටයි. කොරෝනා බියෙන් රටම සලිතව සිටින මොහොතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධාන නිලධාරියෙක්ටත් වයිරසය ආසාදනය වී තිබෙනවා. මේ හේතුවෙන් ක්‍රිකට් ආයතනය දින නියමයක් නැතුව වසා දමා ඇත්තේ ක්‍රිකට් පොකුරක් මතුවීමේ අවධානමත් සමගයි. මෙලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුලට කොරෝනා රිංගාගෙන ඇති බව තහවුරු වන්නේ එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා සංචාරයක් සදහා මත්තලින් ගොඩ බසින විටදීයි. මේ පිලිබද සවිස්තරාත්මක තොරතුරු අනාවරණය මෙතැන් සිට සිදුවනවා.


    ලෝක කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා සංචාරක එංගලන්ත කණ්ඩායම අතර ටෙස්ට් ක්‍රිකට් තරග දෙකකින් යුත් තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබුනේ 2020 වසර මුලදීයි. ඊට එක්වීම සදහා එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණ පළමු තුන් දින පුහුණු තරගයට 2020 මාර්තු 7-9 දක්වා කටුනායකදී SLCXI කණ්ඩායම සමගින් තරග කළා. අනතුරුව දෙවන පුහුණු තරගයට කොළඹදී එක්වුනේ 2020 මාර්තු 12-15 දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම සමගයි. එම තරගයේ දෙවන දිනයේ සවස 3.40 වන විට තරගය අතහැර යලි සිය රට බලා යාමට එංගලන්ත කණ්ඩායම කටයුතු කළා. කොරෝනා පළමු රැල්ලෙන් එංගලන්තය බැටකෑම උපරිමයට ලංව තිබීම මෙම කැඳවීමට හේතු වුණා. එලෙස ලංකාව හැර ගිය එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම එම තරග දෙක සදහා ඊයේ යලි ශ්‍රී ලංකාවට පැමිණියා.

    එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළින් එන විට ඔවුන්ට පහසුකම් සැපයීම භාරව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ට්‍රවිස් ප්‍රනාන්දුට කොරෝනා ආසාදනය වී තිබෙනවා. එය ඊයේ තහවුරු කර ගැනීමත් සමග ක්‍රිකට් ආයතනය දින නියමයක් නැතුව වසා දැමුණා. 2021 නව වසර වෙනුවෙන් ක්‍රිකට් ආයතනයේ පැවති සාදයේ ප්‍රධාන නිලධාරියෙක් වූයේ ට්‍රවිස් ප්‍රනාන්දුයි. කිරිබත් කමින් හා කවමින් සැමට සුභ පතමින් ඔහු සිප වැළඳ ගත් පිරිස මෙතෙකැයි කියන්න බැරි තරම්. එලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා සමගින් වැඩිම පයුරු පාසානකම් දැක්වීම දක්නට ලැබුණා. ට්‍රවිස්ට ආසාදනය වී  ඇති බව දැනගත් විගස ක්‍රිකට් ආයතන මානව සම්පත් කළමනාකරු ටනේෂ් ඩයස් සියලුම ආයතනික සේවකයින්ට අද සිට යලි දැනුම්දෙන තුරු නිවසේ සිට වැඩ කළ හැකි බව දැනුම් දුන්නා. ඊට අමතරව සේවකයින් නවලෝක පෞද්ගලික රෝහලට ගොස් PCR පරීක්ෂණ සිදුකර ගැනීමට කටයුතු කළත් වෙනත් කිසිවෙක්ට වයිරසය ආසාදනය වී ඇති බව මෙතෙක් තහවුරු වී නැහැ.



    කොරෝනා ආසාදනය වී ඇති බව මේ වන විට තහවුරු වී ඇති ට්‍රවිස් ප්‍රනාන්දු ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ නිලධාරීන් සමගත් සමීපව පසුගිය දිනවල කටයුතු කළා. ඒ ඔහුගේ බිරිදත් සමග සංචාරය කරමිනුයි. මෙහිදී එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් සංචාරය සදහා අවශ්‍ය කටයුතු සොයා බැලීමට හා අවශ්‍ය පියවර ගැනීම සිදු වුණා. මේ අනුව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටිය හා එම නිලධාරීන්ව නිරෝදායනය කිරීම හා විෂබීජ හරණය සිදුකළ යුතුව තිබෙනවා. ඒ ලංකාවට පැමිණ සිටින එංගලන්ත කණ්ඩායම අවධානමේ නොදා බව සටහන් කළ යුතුයි. එහෙත් ජාත්‍යන්තර අපවාදයට එංගලන්ත කණ්ඩායම අනතුරේ දමා ලක් නොවීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙතෙක් කිසිවක් සිදුකර නැහැ. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මීට වහා මැදිහත් වී අවශ්‍ය පියවර ගනු ඇතැයි Lankasportsnews අප බලාපොරොත්තු වනවා. නැත්නම් නව වසරේ කිරි පැණි ඉතිරී නාමල්ගේ කෙරුවාව පැණිවල ගසාගෙන යනු ඇත්තේ ජාතික පමණක් නොව ජාත්‍යන්තරවත් බව අවසන් ලෙස සිහිපත් කළ යුතුයි.




    No comments