• Breaking News

    ඡන්ද වලට රැකියා දී කෝටි ගණන් මුදල් ගිලින බස්නාහිර පලාත් ක්‍රිකට් සංගමය


    හොරුන්ගෙත් හොරු කම්බ හොරු කියන කතාව ඔබ අසා ඇති. එවන් කම්බ හොරු පිරුණු ක්‍රිකට් ආයතනය හොර ගුහාවක් බවට පත්ව අවසන්. ඒබව Lankasportsnews අප පසුගිය කාලය පුරාම ඔබට හෙලි කළා. එහෙත් අවාසනාවන්ත ලෙස ක්‍රීඩා ඇමති පුටුවේ සිටින ඇත්තන් ඒවා සැමදා නෑසුන කන් ඇතිව සිටිනවා. පාර්ලිමේන්තු කෝප් කමිටුවේ සභාපති සුනිල් හදුන්නෙත්ති වත්මන් රජය පත්වීමට ආසන්න කාලයේ විශේෂ විගණන වාර්තාවක් මගින් කරුණු රැසක් අනාවරණය කළා. එහෙත් වත්මන් රජය පත්වූ විගසම ඒවා සියල්ල වැළලී ගියේ කිසිවක් සිදු නොවූ ලෙසයි. ඒ රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව සිදුකළ සාක්ෂි සහිත අනාවරණයක් වීම කණගාටුවට කරුණක්. එලෙස විගණනයට පවා හෙළි නොවන මහා පරිමාණ අක්‍රමිකතාවක් අද අප අනාවරණය කරනවා.


    ක්‍රිඩා ඇමතිවරු කලින් කලට පැමිණ නිධානයක් ගොඩදමන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් කාබාසිනියා කිරීම සාමාන්‍ය සිදුවීමක් වී අවසන්. ඇතැම් ක්‍රීඩා ඇමතිවරු අතුරු කමිටු පත් කළත් ඒවායින්ද මෙම විනාසය වෙනස් මුහුණුවරකින් සිදුවුණා. වරක් එලෙස පත්වූ සිදත් වෙත්තමුණිගේ සභාපතිත්වයෙන් යුත් අතුරු කමිටුව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩා පිටියේ ගෘහස්ථ ක්‍රීඩා පිටියක් හා පිහිණුම් තටාකයක් ඉදිකිරීම ආරම්භ කළා. අදටත් එය සැකිල්ලකට පමණක් සීමාවූ මහා පරිමාණ නාස්තියක් වී අවසන්. එලෙසම මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ ඉදිකිරීම ආරම්භ කළ ගෘහස්ථ ක්‍රීඩා පිටිය මුදල් විනාසයකට සීමා වුණා. මෙලෙස දූෂණය ඉහ වහා යාම හේතුවෙන් වරක් ක්‍රීඩා ඇමති වූ සී. බී රත්නායක ප්‍රසිද්ධියේ කියා සිටියේ ලංකාවේ දෙවන දූෂිතම ආයතනය ක්‍රිකට් ආයතනය බවයි. හොරු කෙතරම් බලවත් පිරිසක්ද යන්න සනාථ කරමින් එම ප්‍රකාශයෙන් දින කිහිපයකට පසු සී.බී ට සිය ක්‍රීඩා ඇමතිකම අහිමි වුණා.


    පසුගිය වසර පහක කාලය තුල ක්‍රීඩා ඇමතිවරු පස් දෙනෙක් පත්වූ බව ඔබට මතකද ? යහපාලන රජය යටතේ පළමුව නවීන් දිසානායක පත්වූ අතර පසුව පිළිවෙලින් දයාසිරි ජයසේකර, ෆයිසර් මුස්තාෆා, හරීන් ප්‍රනාන්දු, ඩලස් අලහප්පෙරුම කටයුතු කළා. ඔවුන් අතරින් හරීන් ප්‍රනාන්දු බුකීකරුවන්ට ක්‍රීඩාවේ වැට බදිමින් ක්‍රීඩාවල වැරදි වැලැක්වීමේ පනත සම්මත කර මුදලට තරග පාවාදීම දැඩි දඩුවම් හිමිවන වරදක් කළා. ඔහුට පෙර සිටි සියලු ඇමතිවරු එම පනත හඹස් පට්ටියේ දමා වසා තැබීම නිසා ලංකාව ලෝකයේ දූෂිතම ක්‍රිකට් රට ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නම් කරන තැනට ගෙන පැමිණියා. ඒ ක්‍රිකට් ආයතනයෙන් සිය දේශපාලන බල ප්‍රදේශයට අත යට වාසි ලබා ගැනීමේ අනිටු ප්‍රතිඵලයක් ලෙස බව ප්‍රසිද්ධ රහසක්. අනතුරුව පත්වූ වත්මන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ අඳ ගොලු බිහිරි ලෙස කටයුතු කරමින් සිටිනවා.


    ගැලරියට කතා කරන ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ නිතර කියන කතාවක් වී ඇත්තේ දූෂිතයන්ට දඩුවම් දෙන බවයි. ඊට ඔහු ගත් එකම ක්‍රියාමාර්ගය වූයේ දූෂණ ගැන එවක කතා කළ ප්‍රධාන සියල්ලන් ජාතික ක්‍රීඩා සභාවට පත් කර නිහඬ කිරීමයි. ඒ පිලිබද සවිස්තරාත්මක ඉදිරියේදී Lankasportsnews අප තොරතුරු ගෙන ඒමට කටයුතු කරනවා. 1996 වසරේ ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගන්නා විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිටියේ සේවකයින් 16 දෙනෙක් පමණයි. නමුත් මේ වන සිට එහි සෘජු හා වක්‍ර රැකියා ලබාදී වැටුප් ගෙවන සේවකයින් 400 කට ආසන්න පිරිසක් සිටිනවා. ඒ අතර මාසිකව රුපියල් ලක්ෂයකට වඩා වැටුප් ගන්නා 50 කට අධික පිරිසක් සිටිනවා. මාසිකව රුපියල් ලක්ෂ 10 කට අධික වැටුපක් ගන්නා සේවකයින් 10 දෙනෙකුට ආසන්නයි. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් හා පුහුණුකරුවන්ට අමතරව බව සදහන් කළ යුතුයි. එසේ තිබියදී පළාත් සංගම් මගින් බඳවාගෙන ඇති සියල්ලන්ට වැටුප් ගෙවන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයයි. ඒ රජයේ විගණනයට වෙට්ටු දැමීමේ අරමුණ ඇතිව බවත් ලියා තැබිය යුතුමයි.


    පළාත් ක්‍රිකට් සංගම් මෙලෙස සේවකයින් බඳවා ගනිමින් වැටුප් ගෙවනු ලබන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවණයේ ඡන්ද හිමි ක්‍රිඩා සාමාජ නියෝජිතයින්ට වීම කැපී පෙනෙනවා. මෙලෙස පළත් සංගම් යටතේ සේවය කරන අති බහුතරයකගේ මාසික වැටුප රුපියල් 50,000 ඉක්මවනවා. ඒ අතර මාසිකව රුපියල් එක් ලක්ෂ 50,000 ක වැටුප් ගන්නා පිරිසක්ද වනවා. මේ සියල්ලන් සේවයට බඳවා ගන්නේ වසර දෙකක කොන්ත්‍රාත් පදනමිනුයි. වසර දෙකකට වරක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණයත් පැවැත්වෙනවා. බස්නාහිර පලාත් ක්‍රිකට් සංගමයේ ආර්. ප්‍රේමදාස ක්‍රීඩා පිටියේ කාර්‍යාලයේ පමණක් 40 කට වැඩි සේවකයින් පිරිසක් ඇතත් ඔවුන්ට සේවය කිරීමට නිෂ්චිත රාජකාරියක් ඇත්තේ නැහැ. මේ හේතුවෙන් ඔවුන් බොහෝ පිරිසක් ප්‍රේක්ෂකාගරයේ VIP කාමරවල තරගෙට පුටු රත් කරනවා.


    මේ අතර ලගදී විශ්‍රාම ගත් ක්‍රිකට් විනිසුරු හා විස්තර විචාරකයෙක් ලෙස කටයුතු කළ අයෙක් ටයි පටියක් පැළඳ සම්බන්ධීකාරකයෙක් කියා බකන් නිලන් සිටිනවා. ඒ වෙනුවෙන් ඔහුට මාසිකව රුපියල් 90,000 කට ආසන්න වැටුපක්ද ගෙවනු ලබනවා. බස්නාහිර පලාත් ක්‍රිකට් සංගමයේ ලේකම්ටත් රැකියාවක් ලබා දී මාසිකව රුපියල් එක් ලක්ෂ 50,000 කට අධික වැටුපක් ගෙවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නඩත්තු කරනවා. ඒ ලේකම්වරියක් නිල රථයක් හා කාර්‍යාලයක් ලබාදීමට අමතරවයි. එමෙන්ම පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විනය කඩ කිරීමේ සිදුවීමට සේවයෙන් පහකළ දිස්ත්‍රික් ක්‍රිකට් පුහුණුකරුවෙක්ද පළාත් සංගමයක සේවය කරනවා. එම පත්වීමත් ක්‍රිකට් නිලවරණය ඉලක්ක කර සිදුවූවක් බව කිව යුතුයි. මෙහිදී පලාත් ක්‍රිකට් සංගම් සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුදල් ලබාදීම පමණක් ගිණුම් ගතවනවා. එම පළාත් වෙන් වෙන්ව රජයේ විගණනය නොවීම හේතුවෙන් මෙම මුදල් කාබාසිනියා කර තම බලය රැක ගැනීම කිසිවෙක්ට ඔප්පු කළ නොහැකි වංචාවක් වී තිබෙනවා.


    මෑත කාලයේ රජයේ විගණයෙන් කට්ටි පැනීම සදහා ඇතිකරගත් මෙම ක්‍රමය තුලින් ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩ නැංවීමේ මුදල් අති විශාල ලෙස හිතවතුන්ගේ සාක්කු පිරීමට භාවිතා වනවා. ක්‍රීඩකයින් ආබාධ වලින් වළක්ව ගැනීම හා ශ්‍රී ලංකා ක්‍රිකට් ජයග්‍රාහී මාවතට ගෙන ඒමට වැය කළ හැකි මුදල් මෙලෙස විනාස වීම රටේ අනාගතය වෙනුවෙන් සිදුකරන විශාල හානියක් වනවා. මෙම දූෂණය වලක්වා ගන්නේ නම් දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම ඉතාම හොද සෑම ක්‍රීඩාවක් සඳහාම විවෘත ක්‍රීඩා පිටි ඉඳිකළ හැකි බවට සැකයක් නැහැ. එමෙන්ම රටේ සියලුම ක්‍රීඩා දියුණු කිරීමට මෙන්ම රජයේ මුදල් ක්‍රීඩා අමාත්‍යාංශයට වැය කිරීමකින් තොරව ක්‍රීඩාව පාලනයටත් මෙලෙස නාස්තිය පිටු දැකීමෙන් පමණක් හැකිවනු ඇති. එහෙත් කටින් බතල සිටුවන ක්‍රීඩා ඇමතිවරයෙක් සිටීම හේතුවෙන් මේ සියල්ල දවල් සිහින බව ඔබට සිතෙනු ඇති. ක්‍රිඩා අමාත්‍යාංශය අසලම පිහිටා ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ  නිරීක්ෂණ චාරිකාවකට හෝ වත්මන් ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ පත්වී ගතවූ මාස හයේ එකම දිනක්වත් එක්ව නැතිවීම එය තහවුරු කරනවා. බලේ නැති කාලේ CCC ක්‍රීඩා සමාජයේ සභාපති ලෙස ශම්මි සිල්වා එහි රග්බි කණ්ඩායමේ නාමල්ට ඕනෑ හැටියට නටන්න ඉඩ දුන්නා. ඊට කෙලෙහිගුණ සැලකීමක් ලෙසයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වාට දකවන බය පක්ෂපාතකම කොලු කුරුට්ටන් හදුන්වන්නේ.








    No comments