ගාල්ල දණ ගස්වා ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් ශූරතාවය යාපනයට
හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කියන කියමන සනාථ කරමින් ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ පළමු ශූරතාවය දිනා ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත්වුණා. ඒ පෙරළිකාර කණ්ඩායම ලෙස අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත් ගාල්ල ග්ලැඩියේටර් කණ්ඩායම ලකුණු 53 කින් පරාජය කරමිනුයි. මෙම ජයග්‍රහණය අරුමයක් නොවීමට හේතු රැසක් බලපෑ බව සදහන් කළ යුතුයි. ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ 2020 අවසන් මහා තරගය වෙත මෙලෙස අද අප අවධානය යොමු කරනවා.
කොරෝනා හේතුවෙන් රටම ගෙට වී සිටි සමයක විශාල ලාභයක් ක්‍රිකට් ආයතනය නොලබා මෙම තරගාවලිය පැවැත්වීමට හේතු වූයේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ උනන්දුවයි. කොරෝනා නිරෝදායන නීති වෙනස් කරමින් ඇතැම් තීන්දු ගනු ලැබුවේ තරගාවලිය පැවැත්වීමේ දැඩි උවමනාව හේතුවෙන්මයි. එලෙස ආරම්භ වූ ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය පසුගිය මස 26 වැනිදා සිට ඊයේ (දෙසැම්බර් මස 16) දක්වා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී පැවැත්වුණා. ඒ කණ්ඩායම් පහක සහභාගීත්වයෙන්. තරගාවලියේ පෙරළිකාර කණ්ඩායම බවට පත්වෙමින් ඊට භානුක රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ගාල්ල ග්ලැඩියේටර් කණ්ඩායම සුදුසුකම් ලබා ගත්තා. ඔවුන්ගේ ප්‍රතිවාදී කණ්ඩායම බවට පත්වූයේ තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමයි.
තරගාවලිය පැවැත්වීමට පෙර පුහුණු කඳවුරක් පවත්වමින් කණ්ඩායම ගොනු කිරීමට නායක තිසර පෙරේරා සමත් වුණා. ඔහු පන්දුවාර විස්සයි විස්ස මෙරට ජාතික කණ්ඩායම පවා නායකත්වය ලබා දී තිබීම මුල සිටම කණ්ඩායමට අමතර වාසියක් වූ බව දක්නට ලැබුණා. පීඩනය යටතේ කණ්ඩායම ක්‍රීඩා කළ ආකාරය එය සනාථ කරනු ඇති. ගාල්ල ග්ලැඩියේටර් කණ්ඩායමේ නායක ලෙස තරගාවලියට පෙර නම්කර තිබුනේ පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාවට දිනා දීමට නායකත්වය ලබා දුන් වත්මන් ජාතික කණ්ඩායම් නායක ලසිත් මාලිංගයි. එහෙත් තරගාවලියට පෙර පුහුණුවීමට අවස්තාව නොවීම හේතු දක්වමින් ඔහු ඉවත්වුණා. මේ අනුව නායකත්වය හිමිවූයේ පාකිස්තාන සුපිරි ක්‍රීඩක ශයිඩ් අෆ්රිඩිටයි. එහෙත් ඔහු පෞද්ගලික හේතු දක්වමින් එම කණ්ඩායම ක්‍රීඩා කළ මූලික අධියරේ තුන්වන තරගයට පසු යලි සිය රට බලා ගියා. මේ අනුව එතැන් සිට කණ්ඩායමේ නායකත්ව කටු ඔටුන්න දා ගන්නට භානුක රාජපක්ෂට සිදුවුණා. ජාතික තලයේ තරග සදහා නායකත්වයක් ලබා දී නැති ඔහුට විදෙස් ක්‍රීඩකයන් සමගින් ක්‍රීඩා කළ ගාල්ල ග්ලැඩියේටර් කණ්ඩායමට නායකත්වය ලබාදීම විශාල අත්දැකීමක් බවට පත්වුණා. එහෙත් කිසිවකු නොසිතූ ලෙස මූලික අධියරේ අවසානයට එන විට ඔහු සිය කණ්ඩායම පෙරළිකාර කණ්ඩායම බවට පත් කිරීමට සමත්වුණා. තරගාවලියේ හොද සොයා ගැනීමක් බව ඔහුගේ නම ඉදිරියෙන් සටහන් කළ හැකියි.
මෙලෙස පැමිණි ගාල්ල ග්ලැඩියේටර් හා ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම් අතර අත්දැකීම් සටනක් බවට අවසන් මහා තරගය පත්වූ බව විචාරකයන් හදුන්වනවා. තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට ජැෆ්නා ස්ටැලියන්ස් නායක තිසර පෙරේරා තීරණය කළා. මේ අනුව පිටියට පිවිසි ඔවුන්ගේ පළමු කඩුළු තුන මුළු ලකුණු 70 ක් වෙද්දී දැවී ගියා. අනතුරුව පිටියේ එක්වූ ශොයිබ් මලික් ලකුණු 46 ක් හා දනංජය ද සිල්වා ලකුණු 33 ක් ඉනිමට එක්කළා. නායකත්ව ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 14 කදී හයේ පහර 2 ක් හා හතරේ පහර 5 ක් සමගින් ලකුණු 39 ක් රැස් කිරීමට තිසර පෙරේරා සමත් වුණා. මේ අනුව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 06 ක් දැවී ලකුණු 188 ක් ලබා ගත්තා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ගාල්ල ග්ලැඩියේටර් කණ්ඩායමේ පළමු පිතිකරුවන් තුන්දෙනා ලකුණු 07 ක් වෙද්දී තරග නරඹන්නන් බවට පත්වුණා. එය එම කණ්ඩායමට අමතර පීඩනයක් ගොඩ නැගුවා. එහෙත් සටන අත් නොහැරි නායක භානුක රාජපක්ෂ පන්දු 17 කදී ලකුණු 40 ක් ලබා ගනිමින් ප්‍රේක්ෂකයන්ට බලාපොරොත්තු දැල්වූවා. ඔහුට සහය වූ ශෙහාන් ජයසූරිය පන්දු 25 කදී ලබා ගත්තේ ලකුණු 15 ක් පමණයි. මැදපෙළ කඩා වැටෙද්දී යලි කඩුළු රකින පාකිස්තාන ක්‍රීඩක අසාම් කාන් පන්දු 17 කදී ලකුණු 36 ක් ලබා ගනිමින් යම් ජීවයක් එක් කිරීමට උත්සාහ කළා. එහෙත් ජැෆ්නා ස්ටැලියන්ස් පන්දු යවන්නන් මුල සිටම පිතිකරුවන්ව ඇද බැද තබා ගනිමින් තරගය සියතට ගෙන පාලනය කිරීමට සමත්වුණා. මේ අනුව නියමිත පන්දුවාර විස්ස අවසානයේ ගාල්ල ග්ලැඩියේටර් කණ්ඩායමට කඩුළු 09 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 135 ක් පමණයි.
ලකුණු 53 කින් ගාල්ල ග්ලැඩියේටර් කණ්ඩායම පරාජය කර ජයග්‍රහණය ලබා ගත් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට රුපියල් මිලියන 18.5 ක් හිමිවුණා.
අනුශූරතාවය දිනූ ගාල්ල ග්ලැඩියේටර් කණ්ඩායමට රුපියල් මිලියන 9.25 ක මුදලකුයි හිමි වුණේ.
ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ ශොයිබ් මලික් පිත්තෙන් ලබාදුන් සහය හේතුවෙන් ඔහුට අවසන් මහා තරගයේ වීරයා සම්මානය හිමිවුණා.
තරගාවලියට පුරා දක්ෂතා දැක්වීම හේතුවෙන් තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත්තේ වනිදු හසරංගයි.
තරගාවලියේ සෑම විටම දනංජය ද සිල්වා දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔහුට නැගී එන ක්‍රීඩකයා සම්මානය හිමි වුණා.
තරගාවලියේ ජයග්‍රාහී ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට හා අනුශූරතාවය දිනා ගත් ගාල්ල ග්ලැඩියේටර් කණ්ඩායමට Lankasportsnews අපගේ උණුසුම් සුභ පැතුම්. තරගාවලියේ පසු විපරමක් ඉදිරියේදී Lankasportsnews අප ඔබ හමුවේ තැබීමටද බලාපොරොත්තු වනවා.
No comments