• Breaking News

    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදී සෞඛ්‍ය නීති බල්ලට යයි - Exclusive Photo Exposed


    කන්දක් ගිල්ල එකාට අග්ගලාවක් කජ්ජක්ද කියන කියමන සනාථ වනු ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී දක්නට ලැබුණා. මෙම තරගාවලිය පැවැත්වුණේ කොරෝනා වසංගතයෙන් ලංකාව බැට කන කාලයකදීයි. මේ නිසාම කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැලැක්වීම සදහා සාමාන්‍ය ජනතාවට ක්‍රීඩා පිටියට පැමිණ තරග නැරඹීමට අවස්තාවක් හිමිවූයේ නැහැ. ක්‍රීඩකයින් හා ඔවුන්ගේ සහය කාර්යය මණ්ඩලය ජීව විද්‍යාත්මක ගොනුවක් ලෙස (බයෝ බබල්) කටයුතු කිරීමට උපදෙස් දෙමිනුයි මෙම තරගාවලිය පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසරය හිමිවුණේ. එහෙත් තරගාවලිය ආරම්භ වූ දින සිටම ඒවා අලුයම ලූ කෙල පිඩක් සේ බැහැර වනු දක්නට ලැබුණා. අවසන් මහා තරගයේදී එම නීති කඩ කරමින් ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමට තරම් ඔවුන් ප්‍රභල වීම ගැන මෙතැන් සිට එම සාක්ෂි සමගින් පළ වනවා.


    දිවයිනේ ප්‍රදේශ පහක් නියෝජනය කරන කණ්ඩායම් ලෙස තරග වැදි ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය පසුගිය 16 වනදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදී නිමා වුණා. මෙම තරගාවලියට විස්තර විචාරක ලෙස එක්වූ රසල් ආනල්ඩ්ගේ සිට විදෙස් හා දේශීය ක්‍රිකට් ක්‍රීඩකයින්ට එතෙක් දිනක් ක්‍රියාත්මක වූ කොරෝනා නිරෝදායන නීති බලපැවැත්වුණේ නැහැ. විදේශයක සිට දිවයිනට පැමිණෙන අය සදහා වූ දින 14 ක නිරෝදායන අනිවාර්ය මෙහිදී දින 7 ක් ලෙස වෙනස් වුවත් අවසන් වන විට එය එක් දිනයක් දක්වා සංශෝධනය වී තිබුණා. ඩුබායිහි සිට පැමිණ තරගාවලියට එක්වූ මාලින්ද පුෂ්පකුමාර එලෙස දිනක නිරෝදායනය වූවෙක් ලෙස හැදින්විය හැකියි. තරගාවලියේ කොරෝනා වැලදුනු ක්‍රීඩකයන්ට හා නිලධාරීන්ට සගවාගෙන ප්‍රතිකාර කිරීමට ගොස් සංවිධායකයින් හත් පොලේ ගා ගත්තා. Lankasportsnews අප ද ඒවා වීඩියෝ සාක්ෂි සහිතව පෙන්වා දුන්නත් බීරි අලින්ට වීනා වැයීමක් ලෙස ඒවා නොසලකමින් තරගාවලිය පැවැත්වීමට කටයුතු කෙරුණා.


    හම්බන්තොට කොරෝනා ක්‍රිකට් පොකුර සැගවීමට ගොස් මාට්ටු - ජනතාවත් පාරට බසී - Video


    මේ අතර තරගාවලිය නැරඹීමට ප්‍රේක්ෂකයන්ට ක්‍රීඩා පිටියට පැමිණීමට අවස්තාවක් නොවූවත් එම ප්‍රදේශයේ රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානකගේ ආධාරකරුවන් පිරිසක් විශේෂ ගේට්ටුවකින් පැමිණ සියළු පහසුකම් සහිතව තරග නැරඹුවා. අවසන් මහා තරගය වන විට ඔවුන්ට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ සමීපතමයන් පිරිසක්ද එක්වුණා. මේ හේතුවෙන් අවසන් මහා තරගයේ VIP තරග නැරඹුම් කුටි පිරී ඉතිරී ගියා. මාර්තු මාසයේ ලග එන ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය වෙනුවෙන් ක්‍රීඩා සමාජ නියෝජිතයන් පිනවීම සදහාත් මෙම තරගය අවස්තාවක් කර ගැනීමට සභාපති ශම්මි සිල්වා කටයුතු කළා. මේ හේතුවෙන් ආරාධනා හිමිවූ පිරිසක්ද තරග නැරඹීමට එක්ව සිටියා. මේ එන අයට පුටුවක් ඇර පුටුවක් අසුන් ගැනීමට උපදෙස් ලබා දුන්නා. එහෙත් ඒවා කිසිවක් තඹ සතේකට මායිම් නොකරමින් කා, බී විනෝද වන ගමන් ඡායාරූප ගැනීමටත් පැමිණි සම හරක් අමතක කළේ නැහැ. බියර් හා අවශ්‍ය පහසුකම් සපයමින් පසුගිය කාලයේ වැලේ වැල් නැතුව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කොමිස් කාක්කන්ටද මෙය හොද පල්ලමක් වී තිබෙනු දක්නට ලැබුණා.



    වායුසමීකරණ (AC) සහිතව බියර් බොමින් නොමිලේ හිමිවන කෑම එකෙන් සප්පායම් වූ මේ පිරිස එක පොදියට ගුලිවී සිටියේ වරක් දෙවරක් නොවේ. මේ නිසාම කොරෝනා හම්බන්තොට පොකුර සගවා ගෙන සිටියත් එය හෙට දවසේ සිට තැනින් තැනින් මතු නොවනු ඇතැයි කීමට කිසිවෙක්ට බැහැ. තරගාවලිය නැරඹීමට පැමිණි ක්‍රිකට් ආයතන විශේෂ වරප්‍රසාද ලබා ගන්නා පිරිසටත් කොරෝනා සෞඛ්‍ය නීති අමතකව තිබුණා.



    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන උප සභාපති ජයන්ත ධර්මදාසගේ පරිවාර නිලධාරී ශිබ්ලි විල් කාසිම් පවා තරග නැරඹීමට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදේශයන් තුට්ටුවට දමා සිටියා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉල්ලමක් කර ගනිමින් සිය මඩිය තර කර ගන්නා ඔහු සියළු පහසුකම් සමගින් එහි දක්නට ලැබීම කාගේත් කතා බහට ලක් වුණා.



    තරගාවලිය සෞඛ්‍ය නීති බල්ලට දමා මේ වන විට පවත්වා අවසන්. එලෙස කටයුතු කළ පිරිස සමගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් සමීපතමයන් බවට පත්වූ බව අමුතුවෙන් කිව යුතු නැහැ. මේ අනුව හම්බන්තොට කොරෝනා රැල්ල මතු උවහොත් ඊට වග කියන්නේ කවුද ? Lankasportsnews අපේ පැතුම එසේ නොවේවා යන්නයි. එහෙත් කොරෝනා වෛරසය පැතිරීම උපකල්පිත සීමාවේ නොවන බවට වන පර්යේෂණාත්මක තොරතුරු තිබීම බිය උපදවන්නක්. එසේ රැල්ලක් මතු වුවහොත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ අනාගතයට නියත වශයෙන්ම කලු පැල්ලමක් වනු ඇතැයි අප මීට පෙරත් වාර්තා කළා. කෙසේ හෝ සියලු භාධක ජය ගනිමින් තරගාවලිය අවසන් වුණා. එහෙත් එහිදී මතුවූ ගැටළු තවම අවසන් නැති බව පමණක් අවසන් ලෙස ලියන්නේ අනාගත ව්‍යසනයක් වලකීවා කියන ප්‍රාර්ථනාවත් සමගිනුයි.





    No comments