• Breaking News

    මුදල් නොගෙව්වොත් ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග වර්ජනයක් ? Exclusive Exposed


    අස්සයා පැනල ගියාට පසු ඉස්තාලය වසා වැඩක් නැත. මේ කියමනට අනුව යමින් ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියට එක්ව සිටින ක්‍රීඩකයන් කටයුතු කිරීම ආරම්භ කර තිබෙනවා. දෙන්නං කාසි වලට තරගාවලිය ආරම්භ වූ බව අප ඔබට කිව්වා මතක ඇති. මෙලෙසම දෙන්නං කාසි වලට ක්‍රීඩා කළ මීට පෙර පැවති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් (SLPL) තරගාවලියට එක්වූ ක්‍රීඩකයින් පිරිසකට අදටත් එම මුදල් හිමිව නැහැ. එය පාඩමට ගනිමින් ගිණි පෙල්ලෙන් බැට කෑ ක්‍රීඩකයන් කණාමැදිරි එලියටත් බියවී සිටිනවා. මේ හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් LPL ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය මුදල් දෙන තුරු ක්‍රීඩා නොකිරීමට එක් කණ්ඩායමක් තීරණය කර තිබෙනවා. මෙලෙසම කලම්බෝ කිංග්ස් කණ්ඩායමත් අවසන් පූර්ව තරගයෙන් පසු වර්ජනයට එක්වුණා. එම සම්පූර්ණ තොරතුරු මෙතැන් සිට දිග හැරෙනවා.


    ලංකා ප්‍රිමියර් ලීග් LPL ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී කලම්බෝ කිංග්ස් කණ්ඩායම පරදා කඩුලු 02 ක තියුණු ජයක් ලබා ගැනීමට ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායම සමත්වුණා. ඊයේ පැවති දෙවන අවසන් පූර්ව තරගයේදී ලකුණු 37 ක පහසු ජයක් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම වාර්තා කළේ දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායම පරාජය කරමිනුයි. මෙම තරග දෙක අවසන් වීමත් සමගින් මුදල් නොගෙවා සංවිධායකයින් බේරී පලායාම වැලැක්වීමට ක්‍රීඩකයන් අපූරු කකුල්මාට්ටුවක් දමා තිබෙනවා. පළමු අවසන් පූර්ව තරගය පරාජය වූ කලම්බෝ කිංග්ස් කණ්ඩායම නවාතැන් ගත් හෝටලයෙන් පිටව යාම එලෙස ප්‍රතික්ෂේප කළා.


    කලම්බෝ කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රංගන හේරත් හා ධම්මික ප්‍රසාද්, ක්‍රීඩකයින් සමගින් එක්ව සංවිධායකයින්ට දැනුම් දී ඇත්තේ නියමිත පරිදි මුදල් ගෙවන ලෙසයි. එසේ නොමැතුව කිසිවෙක් හෝටලයෙන් පිටත්ව නොයන බව දැනුම් දී ඇතැයි වාර්තා වනවා. තරගාවලියේ ගිවිසුම් ගත මුදලින් සියයට 50 ක් පමණයි එක්වීමට පෙර ගෙවීම් සිදුකර තිබුණේ. ඉතිරි සියයට 50 ක මුදල වෙනුවෙනුයි මෙම සටන ඇරඹී තිබුණේ. මෙම ක්‍රීඩකයන් නවාතැන් ගෙන සිටි හෝටලයෙන් ඊයේ උදෑසන 9 ට පිටව යා යුතු වූ ඔවුන් පිටව ගොස් ඇත්තේ සවස 04 ට පමණයි. ඒ සංවිධායකයින් හිග මුදල වෙනුවෙන්, දිනය 17 වැනිදා ලබා ගැනීමට දින යෙදූ ඩේට් චෙක්පතක් ලබා දුන් පසුවයි. එමෙන්ම අවසන් පූර්ව තරගය වෙනුවෙන් ලබාදෙන තරග ගාස්තුව වූ රුපියල් 2,80,000/= ක මුදලත් ඒ සමග ලබා දී ඇතැයි සදහන්. මේ අනුව කලම්බෝ කිංග්ස් කණ්ඩායමේ වර්ජනය අවසන් කර කොළඹට පිටත් කර එවීමට හැකිව තිබෙනවා.

     

    කෙසේ වෙතත් අනෙක් අවසන් පූර්ව තරගයේ පරාජිතව තරගාවලියෙන් ඉවත්වන දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායම මෙම ලිපිය ලියන විටත් හෝටලයේ රැදී සිටිනවා. තරගාවලියේ අවසන් මහා තරගය හෙට පැවැත්වෙන්නේ ජැෆ්නා ස්ටැලියන්ස් හා ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායම් අතරයි.  එහෙත් එම එක් කණ්ඩායමක් තරගයට එක්වීම ප්‍රතික්ෂේප කිරීමට සූදානම් වන බව Lankasportsnews අප වෙත වාර්තා වනවා. ඒ මෙලෙසම මුදල් නොගෙවීම හේතුවෙන්. ඒ පිලිබද අප කළ විමසීමකදී කියා සිටියේ තමන් අතින් කාල හරක් බලන්න ඔවුන් සූදානම් නැති බවයි. මේ අනුව අවසන් මහා තරගය මේ වන විට අවිනිශ්චිත වී තිබෙනවා. එමෙන්ම මෙම තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එහි නිල ප්‍රධාන ගැණුම්කරුවන IPG ආයතනය තවමත් මුදල් ගෙවා නැහැ. මෙම තරගාවලියට පහසුකම් සපයා ක්‍රීඩා ආර්ථිකය ගොඩ නැංවීම බලා සිටින ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂට අවසානයේ ගහපු පදේකුත් නෑ බෙරේ පලුවකුත් නෑ කියන්න වෙයිද දන්නේ නැත.


    මෙම තරගාවලිය පුරා කොරෝනා නීති නැවීම සිදුවූ බව අප වාර්තා කළා. එලෙසම මෙම තරගාවලිය නැරඹීමට ප්‍රේක්ෂකයන්ට තරග පැවති හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියට ඇතුලු වීමට නිල අවසර හිමිවුණේ නැහැ. ඒ කොරෝනා සෞඛ්‍ය උපදෙස් අනුවයි. එහෙත් හම්බන්තොට දිස්ත්‍රික් රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානකගේ ආධාරකරුවන් තරග නැරඹීමට පිටියට පිවිසියා. ඔවුන්ට කන්න බොන්න දී සතුටු කර නිදහසේ තරග නැරඹීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවස්තාව ලබා දුන්නේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ ආධාරකරුවන්ට පවා දොර වසමින් වීම කැපී පෙනෙනවා. ක්‍රීඩා අමාත්‍යවරයාත් හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරන්නෙක් බව අමතක කරමින් මෙය සිදුවීම කාගේත් කතා බහට ලක්ව තිබෙනවා. ක්‍රීඩා කැබිනට් අමාත්‍ය නාමල් රාජපක්ෂට වඩා නවක රාජ්‍ය අමාත්‍යවයෙක් වැඩි සැලකුම් ලත් දුර්ලභ අවස්තාවක් ලෙස මෙය නම් කළ හැකියි.


    මේ අතර තරගාවලියේ ක්‍රීඩක ප්‍රශ්න කිරීමක් දුරදිග යාම හේතුවෙන් කලම්බෝ කිංග්ස් කණ්ඩායමේ පුහුණුකරු හර්ෂල් ගිබ්ස් තරගාවලිය හැර ගිය බව Lankasportsnews අප වාර්තා කළා. එය මුදලට තරග පාවාදීම් සිදුවීමක් වීමට ඉඩ ඇති බවත් අපි එහිදී කියා සිටියා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම හැරයාම ගැන නිහඬ පිලිවෙතක් අනුගමනය කළා. එහෙත් අප වාර්තා කිරීමට පසු ගිබ්ස් ටුවර් පණිවිඩය මගින් එලෙස හිටි හැටියේ පිටත්ව ගියේ පවුලේ මව හා  සොයුරා කොරෝනා ආසාධනය වී රෝහල් ගත කිරීම නිසා බව පවසනවා. එසේ නම් ඔහු පිටත්ව යන අවස්තාවේ මෙය ප්‍රකාශ නොකළේ ඇයිද යන්න ප්‍රශ්නයක්. ඒ පිලිබද අපගේ පෙර ලිපිය හා ටුවිටර් පණිවිඩය පහත දැක්වෙනවා.


    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය හර්ෂල් ගිබ්ස් හැරගියේ ෆික්සිං නිසා ? Exclusive Exposed





    මෙම තරගාවලියට විස්තර විචාරකයෙක් ලෙස එක්වුවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ මෙන් කාලගුණ වාර්තා මුහුණු පොතට (Facebook) එක්කළ රොෂාන් අබේසිංහ එය නවතා දමා තිබෙනවා. දෙවන අවසන් පූර්ව තරගයේ කිසිදු අවස්තාවක එය සිදුකළේ නැහැ. මෙලෙස ඔහු හිටි හැටියේ එය නතර කරනු ලැබුවේ Lankasportsnews අප සිදුකළ අනාවරණයට පසු වීම කැපී පෙනෙනවා. එහිදී අප පෙන්වා දුන්නේ මුදලට තරග පාවාදීම් සදහා බුකී ඒජන්තවරයෙක් ලෙස ඔහු මෙම කාලගුණ වාර්තා සටහන් තබන බවයි. එමෙන්ම එය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කිරීමට සූදානම් වීම එලෙසම සිදුකිරීමට Lankasportsnews අප කටයුතු කරන බවත් අවසන් ලෙස සටහන් කළ යුතුයි.


    රොෂාන් අබේසිංහ බුකී ඒජන්තයෙක් ? Exclusive Exposed





    No comments