• Breaking News

    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය හර්ෂල් ගිබ්ස් හැරගියේ ෆික්සිං නිසා ? Exclusive Exposed


    වදින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටුනා වගේ කියන කතාව ඔබ ඕනෑ තරම් අහල ඇති. මේ දිනවල හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේදීත් එවැන්නක් සිදුව තිබෙනවා. හිටි හැටියේ පින පෑදී කලම්බෝ කිංග්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස හර්ෂල් ගිබ්ස් එක්වුණා. එලෙස ආ ඔහු හිටි හැටියේ තරගාවලිය අතහැර ගියේ බොහෝ දෙනෙක් මවිත කරමිනුයි. එහි තිරය පිටුපස සත්‍ය කතාව මෙතැන් සිට දිග හැරෙනවා.


    ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළ පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය බවට පත්වූයේ නැහැ. ආරම්භයේ සිටම ඊට නම්කළ විදෙස් ක්‍රීඩකයන් හා නම්දැරූ දේශීය ක්‍රීඩකයන් විවිධ හේතු දක්වමින් හැරයාම් සිදුවුණා. තරගාවලියේ බොහෝ කණ්ඩායම් පුහුණුකරුවන්ද එලෙසම ඊට එක්වීම ප්‍රතික්ෂේප කළා. මේ සියල්ලටම හේතු වූයේ මෙම තරගාවලිය නිසි ක්‍රමවේදයක් අනුව විශ්වාසදායක ලෙස ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපොහොසත් වීමයි. ඒ තරගාවලි ප්‍රධානියා ලෙස කටයුතු කරන ක්‍රිකට් උප සභාපති රවීන් වික්‍රමරත්න තරග පාවාදීම් සදහා මෙරට ක්‍රීඩා අමාත්‍යාංශයේ වාර්තාක් මගින්ම චූදිතයෙක් වීම අනාවරණය වීම හේතුවෙන් විය හැකියි. මෙලෙස ඇරඹූ තරගාවලියේ විස්තර විචාරකයෙක් ලෙස එක්වීමට ගුවන් යානයට නැගි හිටපු ක්‍රිකට් ක්‍රීඩක හර්ෂල් ගිබ්ස් ලංකාවෙන් බහින විට එහි පුහුණුකරුවෙක් වී සිටි බව ඔබට මතක ඇති. ඒ එම කණ්ඩායමේ පුහුණුකරු ලෙස නම්කළ ඩේව් වට්මෝර් පැදුරටත් නොකියා මාරු වී සිටීම නිසයි. එලෙස නව ලෝක වාර්තාවක් තබමින් විස්තර විචාරකයෙක් පුහුණුකරුවෙක් වූයේ තරගාවලි ආරම්භයම ඉතිහාසයට එක් කරමින්.



    ලංකා ප්‍රිමියර් ලීග් LPL ක්‍රිකට් තරගාවලිය ආරම්භයට පෙර එහි විස්තර විචාරක මණ්ඩලයට ගිබ්ස් එක්වන බව ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින් පැවසුවා. එහෙත් සංවිධායකයින් පසුව එම අවස්තාව ඔහුට අහිමි කර තිබුණා. ඒ ගැන පුදුම වෙමින්ද ඔහු යලිත් ටුවිටර් පණිවිඩයක් නිකුත් කළා. අනතුරුව සිදුකළ දැනුම්දීමකට අනුව ඔහු ‍‍‍‍‍‍‍‍‍‍යලිත් ලංකාවට ඒමට ගුවන් යානයට නැගුණා. මෙරටින් ගොඩ බසින විට තරගාවලි බලධාරීන් දැනුම් දුන්නේ කලම්බෝ කිංග්ස් කණ්ඩායමේ පුහුණුකරු ඔහු බවයි. එම කණ්ඩායම තේරීමට මැදිහත් නොවූ හර්ෂල් ගිබ්ස්ට සිදුවුණේ තෝරා තිබූ කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමටයි. ඒ එම කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් සමගයි. මෙලෙස වව්ලාගේ මගුල් ගෙදර ආවත් ගිබ්ස් එල්ලී සිටීමට කැමති වූයේ නැහැ. මේ අනුව ඔහු ක්‍රීඩකයන් ගැන මනා අවධානයකින් සිටිමින් පුහුණුකරු භූමිකාවට පණ පෙවීම ආරම්භ කර තිබෙනවා.

    ඉන්දීය ක්‍රිකට් බුකියෙක් ලංකා ප්‍රිමියර් ලීග් (LPL) මිලට ගනී - Exclusive Exposed


    දෙන දේ කාල, වෙන දේ බලන් ඉන් නැතුව හර්ෂල් ගිබ්ස් කටයුතු කිරීම ඇතමුන් රුස්සා නැහැ. මේ අතර මූලික අධියරෙ තරගයකදී ඔහු එක් විදෙස් ක්‍රීඩකයෙක් සමගින් බහින්බස් වී තිබෙනවා. ඒ එම ක්‍රීඩකයාගේ අසාමාන්‍ය හැසිරීම ප්‍රශ්න කිරීම හේතුවෙනුයි. ඊට මුල්වී ඇත්තේ ස්පොට් ෆික්සිං සිදුවීමකට එම විදෙස් ක්‍රීඩකයා දායක වූයේදැයි පුහුණුකරු ලෙස ගිබ්ස් විමසීම බව වාර්තා වනවා. මෙම තරගාවලියේ මුදලට තරග පාවාදීම් බලවත්වීම නිසා එම සිදුවීම බූමරංගයක් වී ඔහුව තරගාවලියෙන් ඉවත් කර ඇතැයි සදහන්. මේ අනුව එම කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙස සිටි රංගන හේරත්ව ප්‍රධාන පුහුණුකරු ලෙස නම්කර තිබෙනවා. හර්ෂල් ගිබ්ස් ඉවත්වීමෙන් පසු මූලික අධියරේ අවසන් තරගය ලෙස පැවති දඹුල්ල වයිකිංග්ස් හා කලම්බෝ කිංග්ස් කණ්ඩායම් අතර තරගයත් පාවාදීම් සිදුවූ එකක් බව වාර්තා වනවා. එම තරගයේ පළමුව පන්දුවට පහර දුන් දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායම කඩුලු 03 ක් දැවී ලකුණු 203 ක් ලබා ගත්තා. පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ කලම්බෝ කිංග්ස් කණ්ඩායම පන්දුවාර 18 පන්දු 5 ක් අවසානයේ කඩුලු 04 ක් දැවී ලකුණු 205 ක් ලබා ගනිමින් කඩුලු 06 ක ජයක් වාර්තා කළා. එම ඉනිමේ අවසන් පන්දුවාරයේදී 6 පහර හතරක් වාර්තා වීම ස්පොට් ෆික්සිං සදහා සිදුවූවක්දැයි සැකයක් මතුව තිබෙනවා. 






    මුදලට තරග පාවාදීම් වැලැක්වීමේ පනත යටතේ ක්‍රියාත්මක දේශීය විමර්ශන නිලධාරීන් දෙදෙනෙක් මෙම තරගාවලිය අධීක්ෂණය කරනවා. එමෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් දෙදෙනෙක්ද වෙනම එක්ව සිටිනවා. මේ සියල්ලන්ගේ ඇසට වැලි ගසමින් ස්පොට් ෆික්සිං සදහා ක්‍රීඩකයන් දායක වෙමින් ඇතැයි වාර්තා වනවා. එමෙන්ම ඊට තරගාවලියේ ලොකු මෝරෙක්ද සම්බන්ධ බවට Lankasportsnews අප වෙත වාර්තා වනවා. ඒ පිලිබද වෙනම සවිස්තරාත්මකව තොරතුරු ඉදිරියේදී Lankasportsnews අප අනාවරණය කිරීමට සැලසුම් කර තිබෙනවා.

    වෙන දේ බලන් නිකම් කකා බිබී ඉන්න ක්‍රිකට් බෝඩ් ඇන්ටිකරප්ෂන්ලා දෙන්නා


    වෙන දේ බලන් නිකම් කකා බිබී ඉන්න ක්‍රිකට් බෝඩ් ඇන්ටිකරප්ෂන්ලා දෙන්නා


    මේ අතර තරගාවලියේ සිදුවන බව කියන මෙම ස්පොට් ෆික්සිං සිදුවීම් සදහා නිල විමර්ශන නිලධාරීන් නිහඬ පිලිවෙතක් අනුගමනය කිරීම බොහෝ දෙනෙක්ගේ මවිතයට හේතු වී තිබෙනවා. මාලින්ද පුෂ්පකුමාර නිපන්දුවක් යොමු කිරීම මීට පෙර ආන්දෝලනයට ලක්වුණා. එහෙත් එය මේ වන විට යට ගිය සිදුවීමක් වනවා. මෙලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන්ගේ මෙම ක්‍රියා කලාපය සැකයට හේතු වී තිබෙනවා. ඔවුන් මෙම සිදුවීම් උපුටා දක්වමින් තරගාවලිය නිමා වූ පසු මෙම තරගාවලිය හා ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂිත බව යලිත් ප්‍රකාශයට පත් නොකරනු ඇතැයි කීමට කිසිවෙක්ට බැහැ. අඩුම තරමේ තරගාවලියේ ප්‍රධාන පුහුණුකරුවෙක් වූ ගිබ්ස් ඉවත්වීම ගැන ඔවුන් ප්‍රකාශ නොගැනීම එම සැකය තීවෘර කර තිබෙනවා. ඒ එම ඉවත්වීම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද නිහඬ පිලිවෙතක් අනුගමනය කර ඇති පසුබිමක වීම සටහන් කළ යුතුයි. ඉතින් මෙය කොකා බක තපස් රැකීමක් විය හැකි බව Lankasportsnews අපටද සැකයක් මතුව තිබෙනවා.


    මාලින්ද පුෂ්පකුමාර නෝ දැම්මේ ස්පොට් ෆික්සිං වලට ? Exclusive Exposed Video


    ලංකා ප්‍රිමියර් ලීග් LPL ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද රාත්‍රී තරගයක් ලෙස කලම්බෝ කිංග්ස් හා ගාල්ල ග්ලැඩියේටර් කණ්ඩායම් අතර පැවැත්වෙනවා. එහි දෙවන අවසන් පූර්ව තරගය පැවැත්වෙන්නේ දඹුල්ල වයිකිංග්ස් හා ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම් අතරයි. තරගාවලියේ අවසන් මහා තරගය ලබන 16 වැනිදා රාත්‍රී තරගයක් ලෙස හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී පැත්වීමට නියමිතයි.










    No comments