• Breaking News

    ලංකා ප්‍රිමියර් ලීග් LPL ක්‍රිකට් තරගාවලියේ AC වලින් ලක්ෂ 350 ක ගැහිල්ලක් - Exclusive Exposed


    පනින රිලවුන්ට ඉනිමං බැදීමක් බවට ලංකා ප්‍රිමියර් ලීග් LPL ක්‍රිකට් තරගාවලියට මේ වන විට පත්ව තිබෙනවා. ඒ දිනෙන් දින මූල්‍ය අර්බුදයකට යමින් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බංකොලොත් වීම ඉක්මන් කරමිනුයි. කොරෝනා වසංගතය හේතුවෙන් ක්‍රිකට් තරග නොපැවැත්වුණ නිසා වැලේ වැල් නැතුව සිටි කොමිස් කාක්කන්ට මෙම (LPL) තරගාවලිය ඉල්ලමක් වී අවසන්. ඔවුන් බොහෝ දෙනෙක් ඊට කඩේ යවන්නේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ නම බව වාර්තා වනවා. එලෙස අමාත්‍යවරයාගේ නම විකුණා මෙවර මඩිය තරකරගත් වායුසමීකරණ (AC) සවිකිරීමේ මගඩිය ගැන මෙතැන් සිට දිග හැරෙනවා. 


    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මිලදී ගැනීමේ වෙනම අංශයක් පවතිනවා. ඔවුන් එය සිදු කරන්නේ රජයේ අනුමත ටෙන්ඩර් පටිපාටිය අනුවයි. ඊට පිටින් කටයුතු කළහොත් වසර අවසානයේ විගණන දෙපාර්තමේන්තු ප්‍රශ්න කිරීම් සිදුවනවා. පසුගිය කාලයේ පාර්ලිමේන්තු කෝප් කමිටුවේදී අනාවරණය වුනේ එලෙස නියමිත ක්‍රමවේදය අනුගමනය නොකළ සිදුවීම් බව ඔබට මතක ඇති. ඉතින් එම ප්‍රශ්න කිරීම්වලින් බේරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූදල්, පළාත් හා දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් වෙත ලබාදීම කළක සිට සිදුවනවා. අනතුරුව එම දිස්ත්‍රික් හෝ පළාත් සංගමය හරහා අදාල මූල්‍ය අක්‍රමිකතාව සිදු කිරීමටයි ඔවුන් කටයුතු කරන්නේ. ඒ පළාත් හා දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් මූල්‍ය විගණනය රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව සිදු නොකිරීම නිසයි. මෙවර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩා පිටියේ මෙම වායුසමීකරණ (AC) සවි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය භාවිතා කර ඇත්තේ ද මෙම ක්‍රමයයි.


    හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ වායුසමීකරණ (AC) සියල්ල මධ්‍ය (Central AC System) ක්‍රමයට ක්‍රියාත්මක වනවා. මේ අනුව වායුසමීකරණ (AC) ක්‍රියාත්මක කළ විට සමස්ථ ගොඩ නැගිල්ලේම වායුසමීකරණ (AC) ක්‍රියාත්මක වනවා. මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන්නේ නිල ප්‍රභූ හා අමුත්තන් මෙන්ම ප්‍රේක්ෂකයන් ක්‍රීඩා පිටියේ නොමැතිවයි. එවිට කිසිවෙක් නැති ප්‍රදේශ රැසක නිරපරාදේ වායුසමීකරණ ක්‍රියාත්මක වනවා. මේ හේතුවෙන් වෙන වෙනම කාමර සදහා වායුසමීකරණ AC සවි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළා. ඔවුන් එහිදී මීය කැඩුවේ අත ලෙව කන්න නොව බැංකු ගිණුම් පුරවා ගැනීමටයි. මෙහිදී වායුසමීකරණ (AC) 94 ක් සවිකිරීමට කටයුතු කර ඇත්තේ රුපියල් ලක්ෂ 350 ක් වැය කරමිනුයි. 


    මෙම මුදල් වංගු ගැසීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය පළාත් සංගම් භාවිතා කර තිබෙනවා. මේ සදහා වායුසමීකරණ (AC) සවි කිරීමේ කොන්ත්‍රාත්තුව වෙනුවෙන් කොන්ත්‍රාත් කරුවන්ට ලියාපදිංචි වීමට උපදෙස් ලබාදී ඇත්තේ ඌව පළාත් සංගමයයි. එහිදී කොන්ත්‍රාත් කරුවන් තුන් දෙනෙක් ඒ වෙනුවෙන් ලියාපදිංචි වී තිබෙනවා. එහෙත් මෙම වායුසමීකරණ 94 ම දින 8 කින් සවිකර අවසන් කළ යුතු බව දැනුම් දී තිබෙනවා. වයර් ඇදීමේ සිට බොත්තම එබූ විට වායුසමීකරණ ක්‍රියාත්මක වීම දක්වා වැඩ අවසන් කිරීමට නොහැකි බව පවසා මෙම කොන්ත්‍රාත් කරුවන් දෙදෙනෙක් කරුණු දක්වා තිබෙනවා. සත්‍ය ලෙසම එය නිවැරදිව ඉටු කිරීමට එම කාලය ප්‍රමාණවත් වන්නේ නැහැ. එමෙන්ම දිවයිනේ ප්‍රමුඛ වායුසමීකරණ (AC) සවි කිරීමට කටයුතු කරන ආයතන අතර අබාන්ස්, සිංගර්, සොෆ්ට්ලොජික් හා පැනසොනික් ආදී සමාගම් දැක්විය හැකියි. එම කිසිදු සමාගමක් මෙම කටයුත්ත දන්නේ නැහැ. මෙම දින ගණනින් එය ඉටු කිරීම ගැන Lankasportsnews අප තාක්ෂණ නිලධාරියෙක්ගෙන් සිදුකළ විමසීමකදී ඔහු කියා සිටියේ උක්ත ප්‍රධාන සංගම් වලට පවා එය විශාල අභියෝගයක් බවයි. 


    කෙසේ වෙතත් කොන්ත්‍රාත් කරුවන් ලියාපදිංචි කළේ ඌව පළාත් ක්‍රිකට් සංගමය වුවත් මෙම ටෙන්ඩරය ලබා දී ඇත්තේ මධ්‍යම පළාත් ක්‍රිකට් සංගමයයි. එහිදී අමාත්‍ය නාමල් රාජපක්ෂගේ හිතවත් කම් දක්වමින් කොන්ත්‍රාත්තුව ලබාගෙන ඇත්තේ ශ්‍රීමාල් ඇඩ්වටයිසින් ආයතනයයි. ශ්‍රීමාල් නැමැත්තාගේ, ශ්‍රීමාල් ඇඩ්වටයිසින් ආයතනය උත්සව සදහා මේස, පුටු හා ටෙන්ට් ලබාදෙන උත්සව ආයතනයක් වනවා. එවැන්නකට මෙම කටයුත්ත කෙසේ වත් කළ නොහැක්කක් බව වාර්තා වනවා. එහි අධිපති ලෙස පෙනී සිටින ශ්‍රීමාල් හැම කටයුත්තකදීම ක්‍රීඩා අමාත්‍යවරයාගේ නම කියමින් ගැලවිජ්ජා න්‍යාය අනුගමනය කරන බව වාර්තා වනවා. මේ වන විට සවිකළ වායුසමීකරණ AC බහුතරයක් ක්‍රියාත්මක නොවන බවත් සදහන්. එමෙන්ම විශාල කාමර සදහා භාවිතා කරන වායුසමීකරණ (AC) කුඩා කාමර සදහාත් භාවිතා කර තිබෙනවා. එලෙස අනවශ්‍ය ලෙස කටයුතු කර ඇත්තේ වායුසමීකරණ (AC) සවි කිරීමට වැඩි වටිනාකමක් ලබා දීම වෙනුවෙනුයි. 24,000 BTU සියල්ලටම සවිකර ඇත්තේ ඉන් භාගයක් අවශ්‍ය තැන් වලට පවා අති විශාල නාස්තියක් සිදු කරමින් බව වාර්තා වනවා.


    හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩා පිටිය අයත් වන්නේ දකුණු පළාත් ක්‍රිකට් සංගමයටයි. එහෙත් මේ වන විට අධිකරණ ක්‍රියාවලියක් හේතුවෙන් දකුණු පළාත් ක්‍රිකට් සංගමය ක්‍රියාත්මක වන්නේ නැහැ. එහෙත් ක්‍රීඩා පිටියට සෘජුව සම්බන්ධ හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය ඉතා හොදින් ක්‍රියාත්මක වනවා. එහි සභාපති ලෙස කටයුතු කරන්නේ භානුකයි. එහෙත් හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයට මෙවර ප්‍රධාන කිසිදු කටයුත්තක් ලබා දී නැහැ. ඒ සභාපති භානුක දූෂණයට විරුද්ධවීම නිසා බවයි වාර්තා වන්නේ. ඔහු පසුගිය දින කිහිපයේදීම මෙම වායුසමීකරණ (AC) අක්‍රමිකතාව පිලිබද ක්‍රීඩා පිටියේ බලධාරීන්ට දැඩිව දෝශාරෝපනය කර ඇතැයි වාර්තා වනවා. මෙම ක්‍රීඩා පිටියේ අලිවැට ප්‍රතිසංස්කරණය කිරීමට පවා හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සහය ලබා නොගෙන පළාත් සංගම් සදහා භාර දී තිබෙනවා. අලි වැට ගැන අපගේ මීට පෙර අනාවරණය පහතින් බලන්න.


    LPL ක්‍රිකට් ලෝගෝ හොරකමෙන් අප්‍රිකාවේ අලියෙක් නුවර ඇවිත් - Exclusive Exposed


    හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටිය ඉදිකිරීමට රුපියල් බිලියන 6 කට අධික මුදලක් වැයකර තිබෙනවා. එහෙත් පසුගිය වසරේ සිදුකළ තක්සේරුවේදී අනාවරණය වුණේ එහි වත්කම් ප්‍රමාණය රුපියල් මිලියන 900 කට ආසන්න බවයි. එය රුපියල් බිලියනයක් තරම් වත් නොවන බව කෝප් කමිටුවේදී අනාවරණය වුණා. මේ අනුව රුපියල් බිලියන 5 ක් බහිරවයා ගිල තිබෙනවා. එලෙස සිදුවීමකුයි මෙහිදීද සිදුව ඇත්තේ. ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම පිලිබද Lankasportsnews අපට ගැටළුවක් ඇත්තේ නැහැ. අප තොරතුරු අනාවරණය කරන්නේ එහි සිදුවන දූෂණ අක්‍රමිකතායි. දූෂණයෙන් තොරව මෙම තරගාවලිය පැවැත්වීමට හැකි වූවා නම් මීට වඩා සිය දහස් වාරයක් හොද තරගාවලියක් ඔබට දැක ගැනීමට ලැබෙනවා. ඉතින් Lankasportsnews අප සෑම විටම පෙනී සිටින්නේ ඔබේ රසාස්වාදනය ඉහළ නැංවීම වෙනුවෙන් බව ලියා තැබිය යුතුයි. ඇතමුන්ට අවශ්‍ය නැව ගිලෙන විටත් බෑන් චූන් දාමින් විනාසය කරා යාමටයි. අප සිදු කරන්නේ නැව ගිලෙන බව පවසා එය හා එහි සිටින ඔබව බේරා ගැනීම බව කරුණාවෙන් සලකන්න.


    No comments