රොෂාන් අබේසිංහ බුකී ඒජන්තයෙක් ? Exclusive Exposed
කොහොඹ ගහට කරවිල වැල ගියා වගේ කියන්නේ නරකට නරක එකතු වීමටයි. මේ දිනවල විස්තර විචාරකයෙක් ලෙස පෙනී සිටින රොෂාන් අබේසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා එක්වීම ඇතමුන් එලෙස හදුන්වනවා. මේ ගැන සිදුකළ සොයා බැලීමකදී පෙනී ගියේ කුණු එකතු වන්නේ කුණු වලටම බවට වන කතාව සත්‍යක් බවයි. ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලි විස්තර විචාරක මණ්ඩලයට ඇතුලත් ඔහුගේ ක්‍රියා කලාපය මෙලෙස සැකයට ලක්ව තිබෙනවා. ඒ මුදලට තරග පාවාදීම් ගැන නිතර අසන්නට ලැබෙන කතා අතර බුකීකරුවන්ට සහය දක්වන ඒජන්තවරයෙක්ගේ භූමිකාවට ඔහු පණ පොවනවා ද යන්නයි. ඒ පිලිබද තොරතුරු සාක්ෂි සහිතව මෙතැන් සිට දිග හැරෙනවා.
මේ වන විට මුදලට තරග පාවාදීම් සිදුවන බුකී ව්‍යාපාරය බොහෝ දියුණු වී තිබෙනවා. තරගයේ ජයග්‍රහණය පමණක් නොව එහි කොටස් පවා ඔට්ටු දැමිය හැකිවීම ස්පොට් ෆික්සිං ලෙස හදුන්වනවා. එතනින් නොනැවතී මෘදුකාංග මගින් ඔබේ ජංගම දුරකථනය ඔස්සේ ඔට්ටු ඇල්ලීමේ පහසුකම දක්වා බුකී ව්‍යාපාරය පැමිණ තිබෙනවා. මේ අනුව තරගයේ නිපන්දු යැවීම්, දුවද්දී දැවීයාම් ක්‍රීඩකයන් හා කණ්ඩායම් ලබා ගන්නා ලකුණු වැනි මෙකී නොකී සිදුවීම් අතර කාලගුණය වෙනුවෙන්ද ඔට්ටු ඇල්ලීම සිදුවනවා. ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ කාලගුණය වෙනුවෙන් ඔට්ටු ඇල්ලීමට නම් ක්‍රීඩා පිටියෙන් බුකීකරුවන්ට තොරතුරු ලැබිය යුතුයි. එවිට තරගය පැවැත්වීමේ සිට ක්‍රියාත්මක වන පන්දුවාර ගණන වෙනුවෙන්ද නිවැරදි ඔට්ටු තැබීමට බුකීකරුවන්ට හැකි වනවා. එහෙත් ප්‍රේක්ෂකයන් ක්‍රීඩා පිටියේ නොමැති මෙම තරගාවලියේ එම කටයුත්ත සිදු කරන්නේ අප කතා නායක රොෂාන් අබේසිංහ බව ඔහුගේ මුහුණු පොතේ (Facebook) සටහන් දෙස බැලූ විට සැක මතු වනවා. තරගයක විස්තර විචාරක මණ්ඩලයට එක්වූවකු එය පැවැත්වෙන විට පවා මෙලෙස මුහුණු පොතට සටහන් එක් කරන එකම තැනැත්තා වන්නේද ඔහුයි. මේ අනුව ඔහුගේ ක්‍රියා කලාපය බුකී ඒජන්ත වරයෙක් බවට සැක කිරීම සාධාරණ වනවා. මෙම තරගාවලියේ නිල අනුග්‍රාහක මයි ලෙවන් සර්කල් යනු මෙහි තරග ගැනම විවිධ අන්දමින් ඔට්ටු දැමිය හැකි ඇප් එකක් වන අතර සෑම අවස්ථාවකම එය ප්‍රමෝට් කිරීම රොෂාන් හා රසල් ආනල්ඩ් අතින් සිදුවන ආකාරය විස්තර විචාරයේදී ඔබට හොඳින් දකින්න පුළුවන්.
ඉන්දීය ක්‍රිකට් බුකියෙක් ලංකා ප්‍රිමියර් ලීග් (LPL) මිලට ගනී - Exclusive Exposed
කෙසේ වෙතත් මෙලෙස සැක සහිත හැසිරීම් ඇති රොෂාන් අබේසිංහ ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැමිණිලි කිරීම හොරාගේ අම්මගෙන් පේන ඇසීමක් වනවා. රොෂාන් දිගු කළෙක සිට විස්තර විචාරකයෙක් ලෙස කටයුතු කරනවා. මේ හේතුවෙන් ඔහු හා IPG ආයතනයේ ප්‍රධානී අනිල් මොහාන් සමග කිට්ටු සබදතාවක් තිබෙනවා. ඒ ඔවුන් දෙදෙනාම ටෙන්ස්පෝර්ට් ක්‍රීඩා නාලිකාවේ එකට සේවය කර තිබීම හේතුවෙන්. මෙම හිතවත්කම නිසාම ලංකා ප්‍රිමියර් ලීග් LPL ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකත්වය IPG ආයතනයට ලබා ගැනීම සදහා අනිල් මොහාන් හා ක්‍රිකට් උප සභාපති රවීන් වික්‍රමරත්න හමුවට අතරමැදියා වී ඇත්තේද රොෂාන් අබේසිංහයි. ඊට අනිල් මොහාන් ලබා දිය යුතු පහසුකම් වූයේ රොෂාන්ව විස්තර විචාරක මණ්ඩලයට හා ක්‍රීඩකයින් වෙන්දේසියට ඇතුලත් කිරීම බව වාර්තා වනවා. එම ඉල්ලීම් දෙකම මේ වන විට ඉටුව අවසන්. එමගින් ඔහුට හිමිවන වාසි බොහෝමයි.
යොවුන් ක්‍රීඩකයන් අන්දන LPL ක්‍රිකට් ප්‍රෝඩාව - Exclusive Exposed
ක්‍රීඩකයින් වෙන්දේසියේදී වැඩි ප්රමුඛත්වයක් රාගම ක්‍රීඩා සමාජයට හා නිල නොවන ක්‍රීඩක කළමනාකරු වන ඔහුගේ ක්‍රීඩකයින්ට හිමිව තිබෙනවා. කලක් නිල වශයෙන් රොෂාන් අබේසිංහ ක්‍රීඩක කළමනාකරුවෙක් ලෙස කටයුතු කළා. එහෙත් ඉන් ඉවත්වූ බව ඔහු ප්‍රකාශ කළ අතර එම ක්‍රීඩකයින්ගේ කළමනාකරු ලෙස මේ වන විට පෙනී සිටින්නේ කාන්තාවක්. ඒ කාන්තාව කවුරුවත් නොව ඔහුගේම පුද්ගලික ලේකම්වරියයි. ඉතින් එම ක්‍රීඩකයින්ට තරගාවලියට ඇතුලත් වීමේ අවස්තාව සැලසීමෙන් ක්‍රීඩක කළමනාකරුට තරගාවලි ගාස්තුවෙන් කොමිස් මුදල හිමි වනවා. රාගම ක්‍රීඩා සමාජයේ සභාපති ලෙස කටයුතු කරන්නේ ඔහු වීම එම ක්‍රීඩකයන් ඇතුලත් කිරීම පසුපස වනවා. එලෙසම රාගම ක්‍රීඩා සමාජ සභාපතිධූරය ඔහු විචාරක මණ්ඩලයට එක්වීම සදහා භාවිතා කරන බව සදහන්. එම ක්‍රීඩා සමාජයට ක්‍රිකට් නිලවරණයේදී ඡන්ද දෙකක් හිමියි. එම ඡන්ද භාවිතා වන්නේ ඔහුට විචාරක අවස්තාව සපයන පාර්ශ්රවය වෙනුවෙන් බව වාර්තා වනවා.
එමෙන්ම මෙලෙස කාලගුණය ගැන විස්තර විචාරක රොෂාන් අබේසිංහ මෙතරම් උනන්දු ඇයි යන්න සොයා බැලිය යුතුයි. එමෙන්ම ඔහු තණ තීරුවට පිවිසෙමින් එහි තත්වයද බාහිර පාර්ශ්වයක් වෙත ලබා දීමේ හැකියාව පවතිනවා. ක්‍රීඩකයින් සමගින් පවා සෘජුව ගණුදෙනු කළ හැකි ඔහු පිලිබද අවධානය යොමු කිරීමට කාලය එළබ තිබෙනවා. මේ අතර රොෂාන් අබේසිංහ බ්‍රෝකර් වරයෙක් ලෙස ඉඩම් ගණුදෙනු සිදුකරන බවත් වාර්තා වනවා. ඒ ක්‍රිකට් ක්‍රීඩකයන් සදහා ඉඩම් මිලදී ගැනීමට පහසුකම් සපයමින්. එලෙස වටේම ගොඩ දා ගන්නා ඔහු විස්තර විචාරක ලෙස ටෙන්ස්පෝර්ට් ක්‍රීඩා නාලිකාවට සේවය ලබාදෙන තරගයන් වලදී දේශීය නාලිකා විස්තර විචාරයටද එක්වෙමින් ඔවුන්ගෙන්ද මුදල් ගෙන එක ගලෙන් කුරුල්ලන් දෙන්නෙක් බා ගන්නා බව සදහන්. මේ අනුව බැලූ විට ක්‍රිකට් ඉල්ලම කරේ එල්ලගෙන ගොඩ දැමීමක් ඔහු සිදුකරන බව ඔබට හිතෙනවා ඇති. මේ සියල්ලම නූල් සූස්තර මගින් සියල්ලන්ගේ ඇසට වැලි ගසා සිදුකිරීමට ඔහුට ඇති හැකියාව අගය කළ යුතුයි. මේ අනුව මෙවර LPL තරගාවලියේ රවීන් වික්‍රමරත්නට පසු වැඩිම පල්ලම ලැබුණේ රොෂාන් අබේසිංහටයි. ගෝල් ග්ලැඩියේටර් හා කලම්බු කින්ග්ස් තරගය අතර තුර රවීන් වික්‍රමරත්න තරගය නරඹමින් සිටි අයුරු පෙන්නද්දී ඔහු පැළඳ සිටි ලක්ෂ ගණනක් වටිනා අත් ඔරලෝසුව ගැනත් ෆේස් බුකියේ කතා බහට ලක්වුණා.
ක්‍රීඩාවල වැරදි වැලැක්වීමේ විමර්ශන ඒකකය ඉන්නේ මෙවන් සිදුවීම් වැලැක්වීම සදහායි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල දූෂණ මර්ධන ඒකකය ක්‍රියාත්මක වන්නේද ඒ වෙනුවෙන්මයි. එම දෙපාර්ශ්රවයම මෙම තරගාවලියට ක්‍රියාකාරීව එක්ව සිටිනවා. එහෙත් ඔවුන් නිහඬව සිටියදී Lankasportsnews අප සිදුකරන මෙම වාර්තා කිරීම රටේ අනාගත ක්‍රීඩාව හා දුවා දරුවන් වෙනුවෙන්ම බව සලකන්න. රොෂාන් අබේසිංහ විස්තර විචාරකයෙක්ද එසේත් නැත්තම් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක්ද යන්න මෙහි දැක්වෙන ඔහුගේ ෆේස්බුක් සටහන් වලින් ඔබට බලා ගත හැකියි. මේ සටහන් මගින් ඔහු තම ගිණුමේ සිටින බුකි කරුවන් හා ඔට්ටු දමන්නන්ට කාල ගුණය ගැන හොඳ අවබෝධයක් ලබා දෙන අයුරුත් ඔබට බලා ගත හැකියි. මේවා ICC යට යවා ඔවුන්ගෙන් ප්‍රශ්න කරන්නත් Lankasportsnews අප බලාපොරොත්තු වෙනවා. මේ අතර අපට ඔහු සමගින් කිසිදු පෞද්ගලික කෝන්තරයක් නැති බවත් කිව යුතුයි. මෙම වාර්තා කිරීම Lankasportsnews අප සිදුකරනු ලැබුවේ වගකිවයුතු මාධ්‍යක් ලෙස පැවරෙන ලංකාවේ ක්‍රීඩාව යහපත් කිරීම වෙනුවෙන් බව සලකන්න. ඒ ඔබට වඩා උසස් රසවින්දනයක් හිමිවන ක්‍රීඩාවේ හෙටක් වෙනුවෙනුයි. ලෝකය අභිමානයෙන් ජය ගැනීමට ඔබේ දරුවාට එය අප සැම එක්ව අද ගොඩ නැගිය යුතු බව සදහන් කළ යුතුයි.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ විශය පථයෙන් ඉවත් කළ බව ක්‍රීඩාව ගැන අඹමල් රේණුවක දැනීමක් නැති මාධ්‍යක් වාර්තා කළා. එය නැට්ට පා ගැනීමක් බව සදහන් කළ යුතුයි. මෙවර අමාත්‍යාංශ ගැසට් කිරීමේදී ක්‍රීඩා අමාත්‍යාංශය යටතට ක්‍රිකට් ආයතනය ගැසට් කර තිබුණා. එහෙත් ක්‍රිකට් ආයතනය යනු ස්වාධීන ආයතනයක් බව පෙන්වා දෙමින් මෙම තත්වයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල තහනමක් ශ්‍රී ලංකාවට පැනවීමේ අවධානමක් ඇතැයි ඊට පසු දිනම Lankasportsnews අප අනාවරණය කළා. මේ අනුව යමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ වහාම එම ගැසට් පත්‍රය අවලංගු කිරීමට කටයුතු කළා. එය ගැසට් පත්‍රයේ සිදුවූ දෝශයක් බවට පත්වුණා. අනතුරුව යලිත් අප වාර්තා කළේ ජාතික ක්‍රීඩා සභාව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පත් කළත් ඊට ඔහුට අයිතියක් නැති බවයි. ඒ එම ගැසට් පත්‍රයට අනුව ක්‍රීඩා සභාව හිමිව තිබුනේ ක්‍රීඩා රාජ්‍ය අමාත්‍යවරයාට බව පෙන්වා දෙමිනුයි. එය සංශෝධනය කරමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ යලිත් ක්‍රීඩා සභාව තමන් යටතට පත් කර ගනිමින් පසුගියදා ගැසට් පත්‍රයක් නිකුත් කළා. එහිදී සිදුවූ සංශෝධනය වැරදියට වටහා ගනිමිනුයි ක්‍රිකට් ආයතනය ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ විශය පථයෙන් ඉවත් කර ඇති බව ක්‍රීඩා විශය ගැන අවබෝධයක් නැති පිරිස වාර්තා කර තිබුණේ. එම ගැසට් පත්‍රිකා හා අප පසුගිය ලිපි පහත දැක්වෙනවා.
නාමල් පත්කළ ජාතික ක්‍රීඩා සභාවේ යෝධයින් ලිලිපුට්ටන් වෙයිද ? Exclusive Video
නාමල් ක්‍රීඩා ඇමතිවෙද්දී රාජ්‍ය ඇමති අතුරුදන්..! Exclusive Exposed
ක්‍රීඩා අමාත්‍යාංශය යටතට පවරා ගැනීමෙන් ක්‍රිකට් ආයතනයට ICC තහනමක්? Exclusive Exposed
No comments