• Breaking News

    ඉන්දීය ක්‍රිකට් බුකියෙක් ලංකා ප්‍රිමියර් ලීග් (LPL) මිලට ගනී - Exclusive Exposed


    මීයක් කඩන්නේ අත ලෙව කන්න නෙමෙයි කියන කියමන ඔබ අසා ඇති. ඇතමුන් මීය කඩන්න ගොස් හත් පොලේ ගා ගනී. මේ නිසාවෙන් හොරාට කලින් වැට පනින අවස්තාද නැතුවාම නොවේ. ලංකා ප්‍රිමියර් ලීග් LPL ක්‍රිකට් තරගාවලිය ගත් විට මේ සියල්ලේම සංකලණයක් දක්නට ලැබෙනවා. කොරෝනා හේතුවෙන් රටම අකර්මණ්‍ය වී ඇති මොහොතක මෙම තරගාවලිය පැවැත්වීමට වැඩිම උවමනාව ඇත්තේ අත ලෙව නොකන්න බලාපොරොත්තු වන කොමිස් හිමිවන්නන්ටයි. එහෙත් මේ වන විට මෙම තරගාවලියේ අඩුපාඩු මතුවීමෙන් පිරිසක් හත් පොලේ ගා ගෙන අවසන්. මුදලට තරග පාවාදීම් සදහා පවත්වන තරගාවලියක් බව සනාථ වීම ප්‍රධාන අනුග්‍රාහකත්වයෙන් තහවුරු වී ඇත්තේ කෙහෙල් කැන වැට පැනීමක් ලෙසයි. තරගාවලි ප්‍රධාන අනුග්‍රාහක බුකී ආයතනයක් වීමෙන් ඉදිරියේදී ලංකාවේ ක්‍රිකට් මුහුණදීමට නියමිත ගැටළු වෙනුවෙන් අද කතාව වෙන් වනවා.


    ලංකා ප්‍රිමියර් ලීග් LPL ක්‍රිකට් තරගාවලියේ නිල ප්‍රධාන අනුග්‍රාහකත්වය සපයන්නේ ඉන්දීය මයි11 සර්කල් ආයතනයයි. මයි11 සර්කල් ආයතනය යනු ක්‍රිකට් හා පාපන්දු වෙනුවෙන් නිර්මාණය කළ ඇප් එකක් වනවා. එමගින් සිදුවන්නේ ඊට ලොග් වන්නන් තරගයට පෙර කණ්ඩායම් නම් කිරීමේ සිට අවසානය දක්වා සිය අභිමතයන් ප්‍රකාශ කිරීමයි. එහිදී නිවැරදි අනුමාන වෙනුවෙන් මුදල් හිමිවනවා. අනුමාන වෙනුවෙන් මුදල් ගෙවිය යුතුවීම නිසා පිරිසක් පරාජය වී මුදල් අහිමි කර ගන්නවා. ඔට්ටු ඇල්ලීම ඇප් එකක් මගින් සිදු කිරීම මෙහිදී වනවා. උදාහරණයක් ලෙස Lankasportsnews අපට එක් කණ්ඩායමක් නම් කිරීමට හැකියාව පවතිනවා. එහිදී කණ්ඩායම නම් කර ඔවුන් ලබා ගන්නා ලකුණු හා දැවීයන කඩුලු පිලිබද ඔට්ටු ඇල්ලීමට හැකියි. ඊට අමතරව ස්පොට් ෆික්සිං ඉදිරියට යමින් එක් එක් ක්‍රීඩකයින් ලබා ගන්නා කඩුලු හා ලකුණු පිලිබද ඔට්ටු ඇල්ලීමට ද හැකි වනවා. තවත් සිදුවීම් රැසක් පිලිබද ඔට්ටු ඇල්ලීමේ හැකියාවත් තිබෙනවා. එමන්ම අවසානයේ තරගය ජය ගන්නා කණ්ඩායම නම් කිරීමේ පහසුකමත් පවතිනවා. මෙහිදී එකක් හෝ කිහිපයක් තෝරා ගැනීම තමන් සතු වනවා. සම්පූර්ණ බුකී ක්‍රියාවලිය මෙම ඇප් එකට ලොග් වීමෙන් සිදුකළ හැකියි. එවිට නිවැරදි ඔට්ටු ඇල්ලීම් වෙනුවෙන් මුදල් හිමි වනවා. මෙය බුකී ව්‍යාපාරය නව තාක්ෂණය සමගින් ඒකාබද්ධ වීමේ සංධිස්ථානයයි. මෙම මයි11 සර්කල් ආයතනය ලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් තුලට ප්‍රධාන අනුග්‍රාහක වෙස් මූණට මුවා වී රිංගා ගන්නට යන්නේ බුකී ව්‍යාපාරය බව ඔබට දැන් පැහැදිලි ඇති.


    ඔබ මයි11 සර්කල් ඇප් එක ඔස්සේ ඔට්ටු අල්ලන්නෙක් බවට පත්වූ විට මුදලට තරග පාවාදීමට ක්‍රීඩකයන් යොදා ගැනීමේ පහසුකම හිමිවනවා. කණ්ඩායම තේරීම තරගයට පෙර දින කිරීම සාමාන්‍ය සිදුවීමයි. එවිට නායකයාගෙන්, පුහුණුකරුගෙන් හෝ එම අවසන් තේරීම සිදුවන විට සම්බන්ධ වන බලධාරියාගෙන් තරගයට පෙර කණ්ඩායම දැන ගැනීමට හැකියි. එම ක්‍රීඩකයින් එකිනෙකා හා සම්බන්ධ වෙමින් තමන්ට අවශ්‍ය ලෙස තරගය හැසිරවිය හැකි වනවා. මේ ඇප් එක මගින් ඔට්ටු අල්ලන පිරිසේ සම්බන්ධතා හා මූල්‍ය හැකියාවන් එකිනෙකට වෙනස් වනවා. පැහැදිලිවම සිදුවන්නේ බුකීකරුවන්ගේ ග්‍රහනයට ශ්‍රී ලංකා ක්‍රිකට් නතු වීමයි. මෙම ඇප් එකේ සන්නාම තානාපතිවරුන් ලෙස ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි හා සවුරව් ගංගුලි කටයුතු කළා. ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ ඔවුන් දෙදෙනා මෙම මයි11 සර්කල් ආයතනය සමගින් කටයුතු කිරීම අභියෝගයට ලක්කර තිබෙනවා. මෙම ඇප් එක මගින් ඉන්දීය ප්‍රිමියර් ලීග් IPL ක්‍රිකට් තරගාවලිය පිලිබද ඔට්ටු ඇල්ලූ බොහෝ පිරිසක් බංකොලොත් වන තරමට පරාජය වී තිබෙනවා. ඇබ්බැහි වී ඔට්ටු අල්ලමින් සේසතම නැතිකරගත් තරුණයින් පිරිසක් සියදිවි නසා ගෙන ඇතැයිද ඉන්දීය නඩුවේ කරුණු ඇතුලත්. ශ්‍රී ලංකාවේ එවන් සෝචනීය ඉරණමක් ඇති නොවනු ඇතැයි කීමට කිසිවෙක්ට බැහැ. එමෙන්ම ලංකාවේ ක්‍රිකට් ඔට්ටු ඇල්ලීම නීත්‍යානුකූල නැහැ. බුකී සමාගම් දෙකක් හරහා එංගලන්තයේ දුවන අස්සයින් සදහා ඔට්ටු ඇල්ලීමට පමණක් මෙතෙක් අවසර ලබා දී තිබෙනවා. ක්‍රිකට් ඔට්ටු ඇල්ලීමට නීත්‍යානුකූල අවසරය නොවීමෙන් ඇතිව තිබූ අඩුව මයි11 සර්කල් ඇප් එක මගින් සම්පූර්ණ වනවා.


    Virat Kohli, Sourav Ganguly receive notices from Madras HC for endorsing fantasy league apps


    මේ අතර ලංකා ප්‍රිමියර් ලීග් LPL ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් මිලදී ගත් හිමිකරුවන් කිසිවෙක් මෙතෙක් ක්‍රීඩකයින් සමග සාකච්ජාවක් සිදුකර නැහැ. එමෙන්ම ක්‍රීඩකයින්ට හෝ පුහුණුකරුවන්ට මෙතෙක් අත්තිකාරම් මුදලක් ගෙවා නැහැ. තරගාවලිය ආරම්භ වීමට ඇත්තේ තවත් දින 08 ක කාලයක් පමණයි. ඉතින් මෙම තරගාවලිය මුදල් නොලැබෙන බොරු පුරාජේරු පමණක් තිබූවක් වීමේ පෙරනිමිතක් ලෙස එය හැදින්විය හැකියි. දෙන්නම් කාසි වලට ක්‍රිකට් ගහන්න ගොස් අන්තිමේදී කොරෝනත් හදන් සල්ලි වලට පොලුත් කා එන්න වෙයිදෝ කියමින් ක්‍රීඩකයන් වැඩි දෙනෙක් ඉන්නේ අන්දුන් කුන්දුන් වෙලයි. සහය පුහුණුකරුවකු ලෙස එක්වීමට සිටි චමින්ද වාසුත් අවසන් මොහොතේ ඉවත් වුණා. ලසිත් මාලිංගත් තවම කණ්ඩායමට එක් වී නැහැ. ක්‍රිස් ගේල් සම්පූර්ණ මුදල ගෙවන තෙක් සහභාගි නොවන බව කියා තිබෙනවා. ඒ පොලු වදී කියා ඇති සැකය නිසයි. මීට පෙර පැවති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් (SLPL) තරගාවලියේ මුදල් වසර අටක් ගතව ඇතත් තවමත් සමහර ක්‍රීඩකයින්ට ලැබී නැහැ. එමෙන්ම අදටත් එම තරගාවලියේ ක්‍රීඩකයන් නැවතුණු සමහර හෝටල් වලට පවා පොලු වැදී තියෙනවා.


    කොරෝනා ක්‍රිකට් පොකුරේ ආරම්භය පල්ලෙකැලේන්


    මේ අතර පල්ලෙකැලේ පුහුණුව අවසන් කර හම්බන්තොට ගොස් පුහුණුවීම් ආරම්භ කර ඇත්තේ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම පමණයි. සචිත් පතිරණ හෂාන් සමග ක්‍රීඩක වෙන්දේසියේ හිටියේ වෙනත් කණ්ඩායමක වුණත් දැන් ඉන්නේ මෙම යාපනය කණ්ඩායමේ සහය පුහුණුකරුවකු ලෙසයි. එමෙන්ම පල්ලෙකැලේ පැවැත්වෙන විශේෂ පුහුණු කඳවුරට එක්ව සිටින ජාතික ටෙස්ට් ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයින් 23 දෙනා සමග කටයුතු කළ සහය කාර්යමණ්ඩලයේ සේවකයෙක්ට කොරෝනා ආසාධනය වී ඇති බව Lankasportsnews අප ඊයේ අනාවරණය කළා. මේ අතර කලම්බෝ කිංග්ස් කණ්ඩායමේ පුහුණුකරු කබීර් අලී කොවිඩ් ආසාදිත බව තහවුරුව තිබෙනවා. ඔහු මෙරටට නොපැමිණෙනු ඇතැයි සදහන්.





    තරග පාවා දීම් හා බුකි කරුවන් සමග සම්බන්ධ කිහිප දෙනෙක්  ක්‍රීඩකයන, පුහුණුකරුවන් හා කළමනාකරුවන් ලෙස මේ ලීගයට සම්බන්ධ වී සිටීමත් බුකී ආයතනයක් අනුග්‍රාහක ලෙස එක්වීමත් තරගාවලිය මෙහෙයවන රවින් වික්‍රමරත්න යනු මෙරට දේශීය තරග පාවා දීම් චූදිතයකු වීමත් කතන්දර රැසක් හෙළිදරව් කරනවා. කොමිස් කුට්ටි වලට යටවී ක්‍රීඩකයින්ගේ ජීවිත අනතුරේ හෙලන බලධාරීන් ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයම අනාත කර අවසන්. හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂට විශේෂ ලිපියක් යොමු කරමින් එය ප්‍රශ්න කර තිබෙනවා. එම ලිපියත් සමගින් අප එම පුවත ඊයේ වාර්තා කළා. කොරෝනා මතුවී බුකීකරුවන්ගේ ග්‍රහනයට නතුවී ඇති ලංකා ප්‍රිමියර් ලීග් LPL ක්‍රිකට් තරගාවලිය පිලිබද තවමත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ අඳ ගොලු බිහිරි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම කණගාටුවට කරුණක්. පැණි වරකා ගහට හෙනය පාත් කළ තරගාවලිය මෙය බවට පත්විය හැකි බව පමණක් අවසන් ලෙස සටහන් කරනවා.


    LPL ක්‍රිකට් තරගාවලියේ දූෂණයට වැට බදින්න අර්ජුනගෙන් ක්‍රීඩා ඇමතිට ප්‍රශ්න පත්‍රයක්




    No comments