• Breaking News

    LPL ක්‍රිකට් ලෝගෝ හොරකමෙන් අප්‍රිකාවේ අලියෙක් නුවර ඇවිත් - Exclusive Exposed


    හොරකම් කිරීම කලාවක් වූවා නම් එහි පිකාසෝලා බවට පත් වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයයි. ඉතාම කම්මැලි බලධාරීන් පිරිසක් තම සාක්කු පුරවා ගැනීම වෙනුවෙන් පමණක් සැලසුම් ක්‍රියාත්මක කරන එය මේ වන විට ලවස් පාක් එකක් බවට පත්ව අවසන්. ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රධානියා ලෙස පෙනී සිටින්නේ මුදලට තරග පාවාදීම් සිදුකළ බවට ක්‍රීඩා අමාත්‍යාංශයේ වාර්තාවක් සදහන් ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති රවීන් වික්‍රමරත්නයි. ඔහුගේ ලේකම්වරිය වන ජැකී කිසිදු තේරීම් කමිටු උපදේශකත්වයක් නැතුව ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩකයින් ලැයිස්තු ගත කළ බව Lankasportsnews අප අනාවරණය කළා. එලෙසම ඇය තරගාවලියේ කණ්ඩායම් ලෝගෝ නිර්මාණය කිරීමේදී භාවිත කළ ප්‍රාථමික තත්වය පිලිබද මෙතැන් සිට දිග හැරෙනවා.


    ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ලබන 26 වැනිදා සිට දෙසැම්බර් මස 16 වැනිදා දක්වා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතයි. ඒ කණ්ඩායම් පහක සහභාගීත්වයෙන්. එහි කුසල් ජනිත් පෙරේරා විසින් නායකත්වය ලබාදෙන කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම විසින් ක්‍රිස් ගේල්ගේ සහාය ලබා ගනිද්දී ඇන්ජලෝ මැතිව්ස් කලම්බෝ කිංග්ස් කණ්ඩායමට නායකත්වය ලබා දෙනවා. කාලෝස් බ්‍රැත්වයිට් සහ ෂහිඩ් අෆ්රිඩි කණ්ඩායම්වලට තේරී පත් වුණු සෙසු ප්‍රධාන විදෙස් ක්‍රීඩකයෝයි. දසුන් ශානක විසින් දඹුල්ල හෝක්ස් පිලට නායකත්වය ලබා දෙනවා. ලසිත් මාලිංග විසින් ගෝල් ග්ලැඩියේටර් පිල මෙහෙයවනවා. ජැෆ්නා ස්ටැලියන්ස් පිලට නායකත්වය ලබා දෙන්නේ තිසර පෙරේරායි. කෙසේ වෙතත් ක්‍රීඩක වෙන්දේසියේදී තෝරා ගත් ඇන්ඩ්‍රෙ රසල් පසුගියදා කලම්බෝ කිංග්ස් කණ්ඩායම හැරගොස් ඇත්තේ ආබාධයක් බව පවසමින්. එම කණ්ඩායමට දකුණු අප්‍රිකානු පිලේ නායකයා ලෙසින් කටයුතු කළ ෆෆ් ඩු ප්ලෙසිද තෝරා ගත්තා. එමෙන්ම ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට ඩේවිඩ් මාලන් හා දඹුල්ල හෝක්ස් කණ්ඩායමට  ඩේවිඩ් මිලර් ඇතුලත් වුණා. මෙම ක්‍රීඩකයින් තුන් දෙනාම ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියෙන් ඉවත්ව තිබෙනවා. ඒ දකුණු අප්‍රිකාව හා එංගලන්තය අතර ලබන නොවැම්බර් 27 ආරම්භවීමට නියමිත ක්‍රිකට් තරගාවලිය හේතුවෙන් බව දැනුම් දී ඇතැයි සදහන්. කෙසේ වෙතත් තෝරා ගත් බව නිවේදනය කළ කිසිදු විදෙස් ක්‍රීඩකයෙක් මෙතෙක් සිය සහභාගීත්වය ස්ථිර කර නැහැ. දින හතක අවම නිරෝදායනය සම්පූර්ණ කිරීමට නම් විදෙස් ක්‍රීඩකයන් අවම වශයෙන් ලබන 19 වැනිදා දිවයිනට පැමිණිය යුතුයි. එවිට පුහුණුවීම් නොමැතිව ක්‍රීඩා කිරීමටයි ඔවුන්ට සිදුවන්නේ. තරගාවලියේ කණ්ඩායම් නම් කර ඇතත් මේ වන විට දේශීය ක්‍රීඩකයින් පුහුණුවීම් ආරම්භ කර ඇත්තේ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ පමණයි. ඊට තවමත් එක්ව ඇත්තේ ක්‍රීඩකයින් අතලොස්සක් පමණක් බවත් සදහන්. මේ අතර සියලුම කණ්ඩායම් වල සිදුකර ඇත්තේ ක්‍රීඩකයින්ගේ වට්ස් ඇප් ග්‍රෝප් නිර්මාණය කිරීම පමණයි.





    තරගාවලියට තෝරාගෙන ඇති විදෙස් ක්‍රීඩකයින් සදහා මෙතෙක් ක්‍රීඩක ගිවිසුම් ලබා දී නැති අතර ඔවුන් සමග තරගාවලිය පිලිබද කිසිදු වගකිව යුතු නිලධාරියෙක් කතා බස් කර නැහැ. Lankasportsnews අප වෙබ් අඩවිය මෙම තරගාවලියට තෝරාගත් බව නිවේදනය කළ විදෙස් ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම ගෙන්ම කළ විමසීමකදී ඔවුන් ඒ බව සනාථ කළා. මේ අතර 2018 වසරේ සිටම කල් යමින් ඇති මෙම තරගාවලිය මෙවරත් පැවැත්වෙනු ඇත්දැයි ඔවුන්ට මෙතෙක් නිල තහවුරු කිරීමක් සිදුව නැහැ. එමෙන්ම දේශීය ක්‍රීඩකයින් සදහා හෝ මෙතෙක් තරගාවලි ගිවිසුම් හෝ අත්තිකාරම් මුදල් ලබා දී නැති බව Lankasportsnews අප ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ගෙන්ම තහවුරු කර ගත්තා. මීට පෙර ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් (SLPL) ක්‍රිකට් තරගාවලිය ලෙස මෙවැනිම තරගාවලියක් එක් වරක් පැවැත්වුණා. ඊට එක්වූ ක්‍රීඩකයින් සදහා ගෙවීම් සිදුකිරීම කණ්ඩායම් හිමිකරුවන් පැහැර හැරියා. මුදලට තරග පාවාදීම් සිදුවූ බවත්, බුකීකරුවන් ශ්‍රී ලංකා ක්‍රිකට් තුලට රිංගා ගත් තරගාවලිය එය බවත් පසුව කියවුණා. 


    ක්‍රීඩකයින් සදහා ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලි ගිවිසුම් ලබා නොදීම ගැන Lankasportsnews අප කණ්ඩායම් හිමිකරුවන්ගෙන් විමසා සිටියා. එවිට ඔවුන් කියා සිටියේ තමන්ට හෝ මෙතෙක් ගිවිසුමක් පෙන්වීමට සම්පූර්ණ තරගාවලිය මිලදී ගත් IPG සමාගම කටයුතු කර නැති බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා IPG සමාගම අතර ඇති ගිවිසුම වත් ඉදිරිපත් කිරීමට ඔවුන් අසමත් වූ බව එක් කණ්ඩායම් හිමිකරුවෙක් Lankasportsnews අප වෙත කියා සිටියා. මෙම තරගාවලිය අලියා ගිලපු දිවුලක් බව එහි කණ්ඩායම් ලෝගෝ නිර්මාණය සනාථ කර තිබෙනවා. කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම් නිල ලාංජනයේ සිටින්නේ අප්‍රිකානු අලියෙක් බව ඔබ දුටුවාද ? එමෙන්ම මෙහි ලෝගෝ නිර්මාණය සිදුකර ඇත්තේ අන්තර් ජාලයෙන් උපුටා අත් ලෝගෝ වෙනස් කිරීම පමණයි. එහෙත් තරගාවලි ප්‍රධානියා ලෙස පෙනී සිටින රවීන් වික්‍රමරත්නගේ ලේකම්වරිය වන ජැකීට ඒ වෙනුවෙන් විශාල මුදලක් ලබා දී ඇතැයි වාර්තා වනවා. ඒ ඉලක්කම් හයේ ගානක් බවත් සදහන්.

     











    මේ අතර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් හම්බන්තොට හෝටල් තුනක් වෙන් කර තිබෙනවා. එම හෝටල් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇත්තේ ඊට අදාල මුදල් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයම ගෙවිය යුතු බවයි. කණ්ඩායම් හිමිකරුවන්ගෙන් එම මුදල් ලබා ගැනීමට තමන්ට නොහැකි බවත් ඔවුන් දැනුම් දී ඇතැයි සදහන්. තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා පිටියේ පිලිසකර වැඩ කටයුතු මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන් කිහිප දෙනෙක් ආරම්භ කර ඇතැයි වාර්තා වනවා. ක්‍රීඩා පිටියට වල් අලි පැමිණීමෙන් වලක්වා ගැනීමට ක්‍රීඩා පිටිය වටා අලි වැට පිලිසකර කිරීමේ කොන්ත්‍රාත්තුව බදුල්ල ක්‍රීඩා පිටියේ සිටින නිලධාරියෙක් ලබා ගෙන තිබෙනවා. එලෙස මේ වන විට මෙම තරගාවලියෙන් කොන්ත්‍රාත් කොමිස් ලබා ගත හැකි සෑම අංශයකම වැඩ ආරම්භ වී අවසන්.


    ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම පිලිබද Lankasportsnews අප වෙබ් අඩවියට කිසිදු ගැටළුවක් ඇත්තේ නැහැ. අප මෙලෙස අනාවරණය කරන්නේ මෙම තරගාවලියේ තිරය පිටුපස කතාවයි. මෙම තරගාවලිය වඩා හොදින් පැවැත්වීමට සැලසුම් කළ යුතුව තිබියදී සැලසුම් කරන්නේ මූල්‍ය වංචා සිදුකිරීමේ කටයුතු පමණක් බව රට හමුවේ තැබීමයි අප සිදු කරන්නේ. බුකීකරුවන්ගේ මනදොල සපුරන තරගාවලියක් නොවී ක්‍රිකට් ආයතනය ඉහළට ඔසවා තබන්නක් වීම වෙනුවෙනුයි අප සෑම විටම හඩ නගන්නේ. වරප්‍රසාද වෙනුවෙන් එහෙයියන් නොවී මාධ්‍ය කළ යුතු වන්නේ අඩුපාඩු, දූෂණ, අක්‍රමිකතා පෙන්වාදීම බව ඔබ දන්නවා ඇති. වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන් වන්දිබට්ටයන් වී ඇති මෙවන් යුගයක ඔබේ තොරතුරු දැන ගැනීමේ අයිතිය සුරැකීමට Lankasportsnews අප බැදී සිටින බවත් අවසන් වශයෙන් සටහන් කළ යුතුයි.



    No comments