කවුරු ආවත් ක්‍රිකට් විධායක පුටුවට අරක් ගත් ගුල්ලා ඈෂ්ලි ද සිල්වා - Exclusive Exposed
බහිරවයා වගේ රැකපන් කියන්නේ නිදානයක් ඇති තැනක් සොරුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට භාර දෙන විට බව ඔබ අසා ඇති. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නම් නිදානය කවුරුන් ගොඩ දැම්මත් ඒ සියල්ලන්ටම ගොට්ට අල්ලන එකම බහිරවයෙක් ඇතැයි ඔබ දන්නවාද ? බලය කාට ගියත් මේ බහිරවයා සිය පුටුව රැක ගැනීමට දෙලපිදේනි පිදීමකින් තොරවම සමත්කම් දක්වනවා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් නිදානය ගොඩ දැමීම නොදැක්කා වගේ සිටීමට හා ඊට සහය වීමට පොරොන්දු පිට පොරොන්දු ලබා දීමෙන් නොනැවතී ඊට සහයත් ලබා දෙමින්. මෙලෙස බහිරවයා වෙමින් කාගෙත් සුන්දරී ලෙස සිටින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වායි. ඔහුගේ කටයුතු නිසා වැනසෙන අපේ ක්‍රිකට් ගැනයි මෙතැන් සිට දිග හැරෙන්නේ.
ඕනෑම ආයතනයක ප්‍රධාන විධායක නිලධාරී යනු එම ආයතනයේ කැඩපතක් වනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලොව දූෂිතම ක්‍රිකට් ආයතනය ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පසුගියදා නම් කළා. ඊටම ගැලපෙන ප්‍රධාන විධායක නිලධාරියෙක් ලෙස ඈෂ්ලී ද සිල්වා කටයුතු කරනවා. සැමදාමත් සාක්ෂි සාධක සහිතව අනාවරණය වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ප්රමුඛ විධායක කමිටු දූෂණයි. කන්දක් ගිල්ල උන් සිටින විට අග්ගලාවක් ගිලීම කජ්ජක්දැයි කියන්නාක් නිසාවෙන්දෝ අප කතා නායක ඈෂ්ලී ද සිල්වාගේ දූෂණ යටපත් වනවා. එහෙත් සැබෑ ලෙසම ආයතනයේ වැටුප් ලබන ප්‍රධාන සේවකයා වන ඔහුගේ අනුදැනුම නොමැතිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කලින් කලට ඡන්දයෙන් පත්වන්නන්ට රිසි සේ කටයුතු කළ හැකි වන්නේ නැහැ. ක්‍රීඩා සමාජ ඡන්ද විමසීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන තාවකාලික භාරකරුවන් ලෙස සභාපති ප්රමුඛ විධායක කමිටුව පත් වනවා. ඉතින් ආයතනය ගැන පූර්ණ වගකීම ඇත්තේ ඉන් වැටුප් ලබන ආයතන ප්‍රධාන විධායක නිලධාරියාටයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගුල් සක්වලක් වී ඇති බව අපි සාක්ෂි සහිතව අවස්ථා රැසක අනාවරණය කළා. ස්වේච්ඡා සේවයක් වෙනුවෙන් පැමිණෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක කමිටු සාමාජිකයින් ලේකම්වරියන් බදවා ගනිමින් එය ලවස් පාක් එකක් බවට පත්කර තිබෙනවා. එහෙත් ලේකම්වරියන් කිසිදු විටක තමන්ට සිදුවන ලිංගික අල්ලස් ලබාදීම හෝ අතවරයන් ගැන කිසිදු තැනක මැසිවිලි නැගීමක් සිදු වන්නේ නැහැ. පඩියට අමතරව හිමිවන වරප්‍රසාද නිසා මුහුදේ නැව් ගියාට පාරවල් හිටින් නැති නිසා ඒ සියල්ල ඔවුන් සතුටින් විදින බව වාර්තා වනවා. එහෙත් ඉතිහාසයේ එකම එක අවස්ථාවක පමණක් ක්‍රිකට් ආයතන ලේකම්වරියක් ලිංගික අල්ලස් ඉල්ලීමේ සිදුවීමක් අධිකරණය දක්වා ගෙන ගියා. ගයාත්‍රී වික්‍රමසිංහ ක්‍රිකට් ලේකම්වරිය මෙලෙස ලිංගික අල්ලස් ඉල්ලීමේ සිදුවීම ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වාට එරහිව ගොණුකළා. ඒ පිලිබද අදටත් නඩුවක් අධිකරණයේ විභාග වනවා.
ක්‍රිකට් මගුල් සක්වල සුරතලියන්ගේ හා පන්දමුන්ගේ වැටුප් ඉහලට - Exclusive Exposed
පසුගිය සතියේ ඕස්ට්‍රේලියා වීසා ලබා ගැනීමේ මගඩියට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුලේ සිටින නිලධාරියා ගැන අප අනාවරණය කළා. දැන් Lankasportsnews අප එම වීසා මගඩියට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා සම්බන්ධ බවට ලෝකයට අනාවරණය කරනවා. ඒ මීට මෙතෙක් සම්බන්ධ හාල්මැස්සන් ගැන පමණක් තොරතුරු අනාවරණය කිරීමෙන් ඔබ්බට යමින් තෝරු මෝරු ගැන සිදුකළ විමර්ශනයකට අනුවයි. මෙහිදී ලිපි ලබාදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ලිපි ශීර්ෂය සහිතව සිදුව තිබෙනවා. ක්‍රිකට් ආයතන ලිපි ශීර්ෂය සහිත මෙම ලිපි සදහා අත්සන යොදා ඇත්තේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා දැනුවත්වයි. මේ පිලිබද විදිමත් පරීක්ෂණයක් නොවීමට හේතුව වී ඇත්තේද ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වාගේ සම්බන්ධයයි. ලොව දූෂිතම ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බව සනාථ කළ ඕස්ට්‍රේලියා මාධ්‍ය පළමුව වාර්තා කළ මෙම වීසා මගඩිය ගැන ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ නිහඬ පිලිවෙතක් කොතෙක් දිනක් අනුගමනය කරනු ඇත්දැයි රටම විමසිල්ලෙන් බලා සිටිනවා.
ඕස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩක වීසා මගඩියේ ලංකාවේ ඒජන්තයා මෙන්න - Exclusive Exposed
ඇමරිකා ගිණුමකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මුදල් බැරවීම ගැන කාලයක් ශ්‍රී ලංකාව තුල ජාතික මාධ්‍ය මුල්ම ප්‍රවෘත්තිය වුණා. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය අංශ ප්‍රධානී පියල් නන්දනට පවරා ඇති නඩුව මේ වන විටත් විභාග වනවා. මෙලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මුදල් බාහිර පාර්ශ්වයක් අතට ගියේ ආයතන ඊමේල් තුලට අනවසර පිවිසීමකින් බව පළමුව කියවුණා. එහෙත් එවන් පිවිසීමක් සිදුව නැති බවත් මෙය ආයතනය තුලින්ම සිදුව ඇති බවත් සාක්ෂි සහිතව ඔප්පු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පරිඝණක අංශ ප්‍රධානියා සමත් වුණා. මේ පිලිබද පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදු කළේත් ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වායි. ඒ හොරාට කලින් කෙහෙල් කැන වැට පැනීමක් ලෙස බවට විගණකාධිපති දෙපාර්තමේන්තුව සිදුකළ විශේෂ විගණන වාර්තාවේ දැක්වෙනවා. එහි දැක්වෙන්නේ මෙම මුදල් හුවමාරුව ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා දැනුවත්ව සිදුව ඇති බවයි. එහෙත් මේ පිලිබද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂණයන්ට අදාලව මෙතෙක් සිදුවූවක් නැහැ. ඒ එම මුදල් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අහිමි වූ ලෙසම ඊට වගකිවයුත්තන්ද කාලයේ වැලි තලාවෙන් වැසී යමිනුයි.
රෝහිත රාජපක්ෂට දුන් අරුම පුදුම ක්‍රිකට් දෑවැද්ද - Exclusive
ශ්‍රී ලංකා ක්‍රිකට් ලොව දූෂිතම රට බවට පත්වීමට බලපෑ ප්‍රධාන තරගාවලියක් වූයේ ඩුබායි හි පැවති ටී ටෙන් ක්‍රිකට් තරගාවලියයි. එම තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවන් වූ අවිශ්ක ගුණවර්ධන හා නුවන් සොයිසාට මුදලට තරග පාවාදීම් චෝදනා එල්ල වී අදටත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල තහනමට ලක්ව සිටිනවා. ඔවුන් එය අභියෝග කරමින් මේ වන විට අධිකරණ ක්‍රියාවලියක් ආරම්භ වී අවසන්. කෙසේ වෙතත් මෙම තරගාවලිය ඉල්ලමක් බවට අප කතා නායක ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා පත් කර ගත්තා. ඊට එක්වූයේ මෙරට අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනූ බස්නාහිර පළාත් ක්‍රිකට් කණ්ඩායමයි. එහෙත් බස්නාහිර පළාත් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙක් වෙනුවට වෙනත් පළාත් නියෝජනය කළ ක්‍රීඩකයින් දෙදෙනෙක් ඇතුලත්ව සිටියා. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පැවසුවේ මෙම කණ්ඩායම තමන් නොතේරූ බවයි. එය සිදුකර තිබුණේ ප්‍රධාන විධායක නිලධාරියායි. ඒ නැති බලයක් ආරූඩ කර ගනිමි දූෂණයට පාර කපමිනුයි.
මුදලට ක්‍රිකට් පාවාදුන් මෙරට පුහුණුකරුවන්
එමෙන්ම මෙම තරගාවලියට එක්වූ කණ්ඩායම ක්‍රීඩා කළේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමක් ලෙසයි. ලංකාවේ ක්‍රීඩා පනතට අනුව කිසිවක් හෝ කණ්ඩායමක් ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ නම් ඊට ක්‍රීඩා අමාත්‍යවරයාගේ ලිඛිත අනුමැතිය ලබා ගත යුතුයි. එහෙත් ඇමතිටත් උඩින් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා එම අනුමැතිය ලබා ගෙන නැහැ. ඊට පරීක්ෂණයක් පැවැත්වීමට වත්මන් ද ඇතුලුව කිසිදු ක්‍රීඩා අමාත්‍යවරයෙක් කටයුතු නොකිරීම කැපී පෙනෙනවා. එමෙන්ම මෙම තරගාවලියට එක්වූ ක්‍රීඩකයින්ට හිමිව ඇත්තේ සොච්චම් මුදලක් පමණයි. එහෙත් හිමිකරුවෙක් පවා සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට එක් ක්‍රීඩකයෙක් සදහා තරගාවලියට ක්‍රීඩා කිරීම වෙනුවෙන් ඇමරිකා ඩොලර් 25,000 ක් බැගින් ගෙවීමට එකග වූ බව වාර්තා වනවා. එහෙත් එක් ක්‍රීඩකයෙක් සදහා හිමිවී ඇත්තේ රුපියල් 75,000 ක් වැනි සොච්චම් මුදලක් පමණයි. අනෙක් මුදල් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලබා දුන් බව පැවසෙනවා. එහෙත් ඒවා ගිණුම් ගතවී නැහැ.
ක්‍රිකට් ආයතනයේ රුපියල් මිලියන 100 ක් යලිත් අතුරුදන් - බහිරවයා මෙන්න
මෙම තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක්ව ඇත්තේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වාගේ අනුමැතිය යටතේයි. ඊට අදාල ලිපි සදහා අත්සන් කර ඇත්තේ ඔහුයි. මේ අනුව එම මුදල ඔහුට ලබා දෙන්නට ඇති බව විශ්වාස කළ හැකියි. එහෙත් ඔහු ඒ පිලිබද කිසිවක් සදහන් කරන්නේ නැහැ. මේ පිලිබද අප සතුව සාක්ෂි රැසක් පවතිනවා. එම තොරතුරු සමගින් වත්මන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂට ලබා දී ඇති පැමිණිල්ල විභාග කිරීමට ඉඩ දෙමින් අපි ඒවා මෙවර නිකුත් කරන්නේ නැහැ. එම පැමිණිල්ලට මාසයකට අධික කාලයක් ගතව ඇතත් කටින් බතල හිටවීම ඇරුණු විට කිසිවක් සිදු නොකරන අමාත්‍යවරයා මෙතෙක් ඊට කිසිදු පියවරක් ගෙන නැති බවත් සදහන් කළ යුතුයි. එමෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් තරග ගුවන් විදුලි විකාශනයට ලබා දීමේදීද මහා පරිමාණ දූෂණ අක්‍රමිකතා රැසක් සිදුව තිබෙනවා. ඒ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වාගේ අනුමැතිය යටතේයි. ගුවන් විදුලි විකාශ අයිතීන් ලබා දීමේදී බන්දුල සමන් නම් ගුවන් විදුලියෙන් පන්නා දැමූ හොර දෙටුවා සමග රෙදි කඩ හා හෝම් ඩෙකරේෂන් කඩ වලට කොටි ගණනින් චෙක් පත් නිකුත් කිරීමේ මගඩියටත් ඈෂ්ලි සම්බන්ධයි. ඒවාද ඉදිරියේදී Lankasportsnews අප අනාවරණය කිරීමට සැලසුම් කර තිබෙනවා.
ක්‍රිකට් හොරු අල්ලූ එකා පන්නා හොරාට පත්වීම දෙයි ? Exclusive Exposed
No comments