• Breaking News

    ක්‍රීඩා අමාත්‍යාංශයේ කොරෝනා පොකුරක් - ජිම් එකත් වසයි - Exclusive Exposed


    කොරෝනා රෝගය යනු සෙල්ලමට ගත හැකි රෝගයක් නොවේ. එය මේ වන විට දෙවන රැල්ල ලෙසින් බස්නාහිර පලාතම ආක්‍රමණය කර අවසන්. එහි වැඩිම අවධානමට ලක්ව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයයි. එසේ තිබියදීත් සාමාන්‍ය ජන ජීවිතය ආරම්භ කළ යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගියදා නිල වශයෙන් කියා සිටියා. මේ අනුවයි නිරෝදායන නීති තමන්ට අවශ්‍ය ලෙස නැවීමට කටයුතු කරමින් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කිරීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ උපදෙස් ලබා දුන්නේ. එලෙස ඇරඹි ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අතර ක්‍රීඩකයන් කිහිප දෙනෙක් හා එහි නිලධාරීන්ට කොරෝනා ආසාධිත බව තහවුරු වුණා. එමගින් හම්බන්තොට ක්‍රිකට් පොකුර නිර්මාණය වීමට මත්තෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ කොරෝනා පොකුරක් නිර්මාණය වී තිබෙනවා. ඒ පිලිබද මෙතැන් සිට කරුණු පෙල ගැසෙනවා.


    නාමල් රාජපක්ෂ කැබිනට් අමාත්‍යවරයෙක් බවට පත්වූයේ මෙවර ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශ භාර දීමත් සමගයි. එතැන් සිට රට වටේ යමින් ජනතාව සමග සිටින නායකයා බවට පත් වීමට සමාජ යටිතල පහසුකම් සංවර්ධන කමිටු රැස්වීම් සමග පවා එක්වීමට ඔහු කටයුතු කළා. එමෙන්ම අනෙක් අමාත්‍යවරුන්ගේ විශේෂ අවස්තාවන්ටත් එක්වීමටත් අමාත්‍ය නාමල් රාජපක්ෂ කටයුතු කරනු දක්නට ලැබුණා. මේ අතර සිය අමාත්‍යාංශයේ පළමු අය වැය වූ මෙවර අය වැයේදී රුපියල් මිලියන 3000 ක අතිරේක  ප්‍රතිපාදන ක්‍රීඩාවට වෙන්ව ඇති බව ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රකාශ කළා. එහෙත් පසුගිය 28 වැනිදා පැවති එම ක්‍රීඩා අමාත්‍යාංශයේ අය වැය විවාදයට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ එක්වූයේ නැහැ. ඊට හේතු වී ඇත්තේ ඔහු ස්වයං නිරෝධායනයට ලක්ව සිටීම නිසා බව Lankasportsnews අප වෙත වාර්තා වනවා. කැබිනට් අමාත්‍යවරයෙක් ලෙස පත්වීමෙන් පසු සිය අමාත්‍යාංශ පළමු අය වැය විවාදයම නාමල් රාජපක්ෂට අහිමිවීම කැපී පෙනෙනවා.



    අමාත්‍ය නාමල් රාජපක්ෂ ඇතුලු රාජපක්ෂ පවුලේ ශරීර යෝග්‍යතාව වෙනුවෙන් කටයුතු කරන ශරීර යෝග්‍යතා පුහුණුකරුවන් ( GYM Instructors ) මේ වන විට සේවය කරන්නේ ක්‍රීඩා අමාත්‍යාංශයේයි. ඒ ක්‍රීඩා අමාත්‍යාංශයේ GYM එක භාරවයි. එම ශරීර යෝග්‍යතා පුහුණුකරුවන් දෙදෙනෙක්ට කොරෝනා වෛරසය ආසාධනය වී තිබෙනවා. ඔවුන් සමග සමීපව කටයුතු කිරීම හේතුවෙනුයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂව ස්වයං නිරෝධායනයට  යොමුකර ඇත්තේ. ක්‍රීඩා අමාත්‍යාංශයේ GYM එක මේ වන විට තාවකාලිකව වසා දමා තිබෙනවා. එමෙන්ම එය ජීවානුහරණය කිරීමටත් පියවර ගෙන ඇතැයි සදහන්. මේ අතර ක්‍රීඩා අමාත්‍යාංශයේ සේවය කළ නිලධාරීන් 12 දෙනෙකුට මේ වන විට කොරෝනා ආසාධනය වී ඇතැයි වාර්තා වනවා. එමෙන්ම ටොරිංටන් මාවත ක්‍රීඩකයන්ගේ නේවාසිකාගාරයත් මේ වන විට වසා දමා අවසන් බව වාර්තා වනවා. මේ අනුවයි ක්‍රීඩා අමාත්‍යාංශ කොරෝනා පොකුරක් නිර්මාණය වී ඇත්තේ.


    ක්‍රීඩා අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන ඉහළ නංවා ඇති මොහොතක ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ වී තිබියදී ක්‍රීඩා කැබිනට් අමාත්‍ය නාමල් රාජපක්ෂ අය වැය විවාදයට පාර්ලිමේන්තු නොපැමිණීම බොහෝ දෙනාගේ කුකුසට හේතු වුණා. එදා ඔහුට පැමිණීමට හැකි වූයේ නම් උදම් ඇනීමට බොහෝ කරුණු පෙල ගැස්වී තිබුණා. එහෙත් අවාසනාවන්ත ලෙස ඔහුට ඊට එක්වීමට හැකිවූයේ නැහැ. අය වැය විවාදය අහිමි වුනත් එම ප්‍රතිපාදන නිසි ලෙස ක්‍රීඩාවට ලබාදීම අමාත්‍ය නාමල් රාජපක්ෂගේ වගකීම වනවා. ඒවා වංගුවෙන් යනවා නම් Lankasportsnews අප එම වංගුවේ සිට සියල්ල ඔබට වාර්තා කිරීමට බැදී සිටිනවා. අපට අවශ්‍ය දූෂණයෙන් තොර ක්‍රීඩාවක් පමණයි. ලංකාවේ වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන් කුම්බකරණ නිද්‍රාවකට වැටී සිටින මේ මොහොතේත් අප සිදුකරන අනාවරණයන් ඉදිරියටත් එලෙසම බලාපොරොත්තු වන ලෙස අවසන් වශයෙන් ඉල්ලා සිටිනවා.



    No comments