• Breaking News

    කොරෝනා ක්‍රිකට් පොකුරේ ආරම්භය පල්ලෙකැලේන්


    කොරෝනා වසංගතය ලෝකයම ආක්‍රමණය කළ මොහොතක ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ කටයුතු කරමින් සිටිනවා. ඒ මිනිස්සු යන්න බය තැන්වල පිස්සෝ කරනම් ගසනවා කියන කියමන සිහිපත් කරමිනුයි. ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය හේතුවෙන් දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයට විශේෂ පුහුණු කඳවුරක් පසුගිය 13 වැනිදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදී ආරම්භ වුණා. තේරීම් කමිටුවක් නැතුව මෙම සංචිතය නියමිත ක්‍රම පටිපාටිය අනුගමනය නොකර තෝරාගත් බව Lankasportsnews අප අනාවරණය කළා. එම සංචිතයේ සගය කර්යය මණ්ඩල සේවකයෙක්ට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව අද අනාවරණය වී තිබෙනවා. ඒ පිලිබද තොරතුරු මෙතැන් සිට දිග හැරෙනවා.


    ලංකාවේ කොරෝනා දෙවන රැල්ල මේ වන විට පාලනයෙන් තොර වී තිබෙනවා. මේ නිසා බස්නාහිර පළාත දැඩි අවධානම් කළාපයක් ලෙසයි නම් කර ඇත්තේ. එසේ තිබියදී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන 26 වැනිදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩා පිටියේ ආරම්භ කිරීමට සූදානම් වනවා. මේ නිසාවෙන් ලබන මස 17 වැනිදා දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට පිටත් යන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතය සදහා විශේෂ පුහුණු කඳවුරක් පැවැත්වීමට තීරණය කළා. පසුගිය 13 වැනිදා සිට ආරම්භ වූ පුහුණු කඳවුර ලබන 22 වැනිදා අවසන් වීමට නියමිතයි. එදිනට ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න හා ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක් නොවන ක්‍රීඩකයන් නිවෙස් වෙත යනු ඇති. සෙසු ක්‍රීඩකයින් 26 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර ඇති ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වීමට හම්බන්තොට යාමටයි නියමිත වන්නේ. තේරීම් කමිටුවක් නැතුව හොර පාරෙන් තෝරාගත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතය හා පහසුකම් සැපයීම සදහා එක්වූ සහය කාර්යය මණ්ඩලත් ඇතුලුව සියල්ලන් PCR පරීක්ෂණයකට කොළඹ දී ලක් කළා. එහිදී සියල්ලන් කොරෝනා ආසාධනය නොවූවන් ලෙසයි ප්‍රතිඵල ලැබී ඇත්තේ.


    තේරීම් කමිටුවක් නැතුව හොර පාරෙන් අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමක් - Exclusive Exposed


    කෙසේ වෙතත් පල්ලෙකැලේ දී අද (නොවැම්බර් මස 17 වැනිදා) සිදුකළ PCR පරීක්ෂණයෙන් සහය කාර්යය මණ්ඩලය සේවක ජැකී කොරෝනා ආසාධිතයෙක් ලෙස තහවුරු වී තිබෙනවා. වැල්ලම්පිටියේ පදිංචි ඔහු මෙන්ම හුදකලා කළ ප්‍රදේශ කිහිපයක සිටින කාමලිකා ජයසේකර, ට්‍රැවිස් ප්‍රනාන්දු හා චානක තේනුවර පසුගිය කාලයේ ක්‍රිකට් ආයතන සේවකයට පැමිණ තිබෙනවා. එලෙස හුදකළා කළ ප්‍රදේශවල සිටින අය සේවයට කැදවන්නේ නම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලබා ගත යුතුයි. එහෙත් එවැන්නක් ලබා නොගෙන ඔවුන් සේවයට පැමිණ ඇතැයි වාර්තා වනවා. මේ අතර ජැකී නම් මෙම සේවකයා ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවන් සමග සමීපව කටයුතු කළ අයෙක් මෙන්ම ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයිගේ බෑග් ප්‍රවාහනයත් සිදුකර තිබෙනවා. මේ අනුව පල්ලෙකැලේ ඕසෝ ( OZO ) හෝටලයේ රැදී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් හා නිලධාරීන් සියල්ලම ස්වයංනිරෝධායනයට ලක් කර තිබෙනවා. සියලු දෙනාටම අද (17) යලිත් PCR පරීක්ෂණයක් සිදුකළා. එහි ප්‍රතිඵල හෙට (18) ලැබීමට නියමිතයි. එහෙත් එමගින් සියලුම ක්‍රීඩකයින් ආසාධිතයන් නොවන බව දැක් වුණත් අවධානම පහව යන්නේ නැහැ. ඒ දින 7 ක් තුල සිදුකරන දෙවන පරීක්ෂණයෙන් ආසාධිතයන් ලෙස ප්‍රතිඵල පැමිණිය හැකි නිසාවෙනුයි. ඒ කොළඹදී සිදුකළ පරීක්ෂණයෙන් කොරෝනා නොමැති බව වාර්තා වී පල්ලෙකැලේ දී සිදුකළ පරීක්ෂණයෙන් ආසාධිතයෙක් ලෙස වාර්තා වූ පරිදියි.


    මෙම PCR පරීක්ෂණ ප්‍රතිඵල ලැබෙන දිනය හෙට (18) වැනිදායි. ඔවුන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට 22 වැනිදා එක්වනවා. මේ අනුව දෙවන පරීක්ෂණය සිදුකළ යුතු වන්නේ හම්බන්තොදීයි. එහිදී ක්‍රීඩකයින් හෝ පුහුණුකරුවන් ආසාධිතයන් ලෙස ප්‍රතිඵල පැමිණිය හැකියි. එවිට සියල්ල උඩි යටිකුරු වනු ඇති. මේ හේතුවෙන් ලබන මස 17 වැනිදා සංචාරය කිරීමට සැලසුම් කර ඇති දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් සංචාරයත් අවධානමට ලක්වනවා. එසේ වුවහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුවන්නේ අල්ලපු අත්තත් නෑ පයගහපු අත්තත් නෑ කියන්නාක් වැන්නකුයි. වැඩි පෙරේත කමට ගොස් අතේ තිබූ දේ කටේ දා ගැනීමට නොහැකි වූ බවත් කිසිවෙක්ට කීමට හැකියාව ලැබෙනවා. කොමිස් කුට්ටි හේතුවෙන් ක්‍රීඩකයන්ගේ ජීවිත අවධානමට ඇද දැමූ ක්‍රිකට් ලොක්කෝ යස අගේට අත පිහදා ගනු ඇති. එවිට වගකීම භාර ගැනීමට සිදුවන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂටයි. ඔවුන්ගේ උසිගැන්වීම නිසා ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය කඩිමුඩියේ ආරම්භ කිරීමට සැලසුම් කළ බව ක්‍රිකට් බලධාරීන් කියනු ඇති. නාමල් රාජපක්ෂගේ දේශපාලන අනාගතයේ නැවතීමේ ලකුණ වීමටත් එවැන්නක් හොදටම ප්‍රමාණවත් වනු ඇති. Lankasportsnews අප මෙලෙස කොරෝනා ආසාධිතයෙක් වාර්තා වීමට පෙරදීම එවැන්නක් සිදුවිය හැකි බව අනතුරු ඇගවූවා ඔබට මතක ඇතැයි විශ්වාස කරනවා.


    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය ගැන හඩපටයක් ලීක් වෙයි - Exclusive Exposed






    No comments