LPL නොකෙරෙන දීගය විදෙස් ක්‍රීඩකයින් එකිනෙකා හැර යයි - මෙන්න තවත් සැගවුණ නොකී කතා - Exclusive Exposed
පුදනකොටම කාපි යකා කියන කියමන ඔබ අසා ඇති. එලෙසම වක්කඩේ හකුරු හැංගූ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ දියවීම එලිපිට සිදුවෙමින් තිබෙනවා. ඒ යලිත් මෙම තරගාවලියට කණ කොකා හඬමිනුයි. වෙන්න කලින්ම මෙලෙස සිදුවේවි කියා මුල සිටම Lankasportsnews අප අනාවැකි පළ කළා. ඒ සාක්ෂි සාධක සහිතවයි. එහෙත් එවිට ක්‍රිකට් ආයතන මුසාවලින් මත්වී සිටි ප්‍රේක්ෂකයින් අපට බැණ වැදුනේ මෙවර එලෙස නොවන බව කියමිනුයි. ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියට එන බව කී විදෙස් ක්‍රීඩකයන් පස් දෙනෙක් මේ වන විට ඉවත්ව ගොස් තිබෙනවා. මේ අනුව ඉතිරිව ඇති සෙසු විදෙස් ක්‍රීඩකයන්ද පැදුරටත් නොකියා ඉවත්ව යාමේ අවධානමක් මතුව අවසන්. ඒ පිලිබද හා තිරය පසුපස තොරතුරු මෙතැන් සිට දිග හැරෙනවා.
ලංකා ප්‍රිමියර් ලීග් ( LPL ) තරගාවලිය ලබන නොවැම්බර් මස 21 වැනිදා සිට දෙසැම්බර් 13 වැනිදා දක්වා වූ කාල සීමාවේදී පල්ලකැලේ සහ හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණවලදී පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවමත් පවසනවා. කොළඹ, මහනුවර, දඹුල්ල, ගාල්ල සහ යාපනය යන නගර මුල් කරගනිමින් කණ්ඩායම් 5 ක් මෙම තරගාවලිය නියෝජනය කරනවා. දින 15 ක කාලයක් පුරා විහිදෙන තරගාවලිය අවසන් මහ තරගයද ඇතුළුව සමස්ථ තරග 23 කින් සමන්විත බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ. අන්තර්ජාල තාක්ෂණය උපයෝගී කරගනිමින් පැවැති ක්‍රීඩක වෙන්දේසියේදී තෝරා ගත් ඇන්ඩ්‍රෙ රසල් කලම්බෝ කිංග්ස් කණ්ඩායම හැරගොස් ඇත්තේ ආබාධයක් බව පවසමින්. එම කණ්ඩායමට දකුණු අප්‍රිකානු පිලේ නායකයා ලෙසින් කටයුතු කළ ෆෆ් ඩු ප්ලෙසිද කලම්බෝ කිංග්ස් කණ්ඩායම තෝරා ගත්තා. එමෙන්ම ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට ඩේවිඩ් මාලන් හා දඹුල්ල හෝක්ස් කණ්ඩායමට ඩේවිඩ් මිලර් ඇතුලත් වුණා. මෙම ක්‍රීඩකයින් තුන් දෙනාම ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියෙන් ඉවත්ව තිබෙනවා. ඒ දකුණු අප්‍රිකාව හා එංගලන්තය අතර ලබන නොවැම්බර් 27 ආරම්භවීමට නියමිත ක්‍රිකට් තරගාවලිය හේතුවෙන් බව දැනුම් දී ඇතැයි සදහන්.
යොවුන් ක්‍රීඩකයන් අන්දන LPL ක්‍රිකට් ප්‍රෝඩාව - Exclusive Exposed
මේ අතර කලම්බෝ කිංග්ස් කණ්ඩායමට ඇතුලත් වූ මන්වීන්දර බිස්ලා හේතු නොදක්වමින් එවත්ව ගොස් තිබෙනවා. මේ අනුව විදෙස් ක්‍රීඩකයින් ඉවත් නොවූ කණ්ඩායම් ලෙස තවමත් ඉතිරිව ඇත්තේ ගාල්ල ග්ලැඩියේටර් හා කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම් පමණයි. කෙසේ වෙතත් නිරෝදායනය වීමට දින 14 ක කාලයක් තරගාවලියට එක්වන විදෙස් ක්‍රීඩකයින් දිවයින තුල සම්පූර්ණ කළ යුතුයි. ඊට ඉතිරිව ඇති විදෙස් ක්‍රීඩකයන් එකඟ වී ඇත්දැයි යන්න ගැටළුවක්. මේ වන විට දිවයින පුරා කොරෝනා වසංගතය යලිත් පැතිරෙමින් තිබෙනවා. එය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය බලධාරීන් යලිත් මෙම තරගාවලිය කල් දමන ලෙස දැනුම් දුන්නොත් එය පුදුමයක් නොවේ. එසේ නොවුනහොත් ජාත්‍යන්තර ක්‍රීඩකයින් නොපැමිණීම හා දේශීය සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත LPL ක්‍රිකට් තරගාවලිය ලංකා ප්‍රිමියර් ලීග් ලෙස නොව අප සියල්ලන්ට පෙර වාර්තා කළ පරිදි ලෝකල් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලෙස පවත්වනු ඇති.
ලෝකල් ප්‍රිමියර් ලීග් වෙන රවීන්ගේ ලංකා පෝස්පෝන්ඩ් ක්‍රිකට් ලීග් - Exclusive Exposed
මේ අතර තරගාවලියට කණ්ඩායම් 5 ක් ක්‍රීඩා කළත් තවමත් මිලදීගෙන ඇත්තේ කණ්ඩායම් තුනක් පමණයි. එසේ තිබියදී සෑම තැනකම කියවෙන්නේ කණ්ඩායම් දෙකක හිමිකරුවන් ගැන පමණයි. ඒ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම හා ගාල්ල ග්ලැඩියේටර් කණ්ඩායම්. ඊට හේතුව යාපනය කණ්ඩායම මිලදී ගත් හිමිකරු ගැන ප්‍රචාරය නොකරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබීම හේතුවෙන්. එම හිමිකරු කවුරුන්දැයි Lankasportsnews අප සොයා බැලුවා. ඔහු කලක් මෙම තරගාවලිය පවත්වන බව කියා පින් පඩි ගත් ක්‍රිකට් විස්තර විචාරක රසල් ආනල්ඩ්ගේ එංගලන්තයේ සිටින ඥාති සොහොයුරෙක්. ඔහු සෘජුව දමිල ඩයස් පෝරාව සමග සම්බන්ධ බව වාර්තා වනවා.
ක්‍රිකට් LPL ප්‍රෝඩාවේ ලක්ෂ 200 ඉක්මවූ යටි මඩි ගැහිල්ලක් - Exclusive Exposed
මේ අතර පසුගියදා යාපනය ස්ටැලියන්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන ක්‍රීඩකයින් තුන් දෙනාගේ සහභාගීත්වයෙන් යාපනයේදී මාධ්‍ය හමුවක් පැවැත්වුණා. ඔවුන් තුන් දෙනාගෙන් දෙදෙනෙක්ම තවමත් යාපනය ශාන්ත ජෝන් විදුහලේ ශිෂ්‍යන්. තිවේන්ද්‍රියන් දිනෝෂන් හා වියස්කාන්ත් මෙම ක්‍රීඩකයින් වනවා. මෙහිදී මතුවූයේ මෙලෙස යාපනය කණ්ඩායම මිලදී ගෙන ඇත්තේද මෙම ශාන්ත ජෝන් විදුහලේ ආධි ශිෂ්‍යන් බවයි. ඔවුන් ක්‍රිකට් සදහා ආසාවෙන් සිය පාසලට ඇති දැඩි ආදරය නිසා මෙලෙස යාපනය කණ්ඩායම මිලදී ගෙන තම පාසලේ ක්‍රීඩකයින් තෝරා ගත් බව පෙන්වා දුන්නා. ඇත්තටම එවන් ආදරයක් ඇත්නම් කළ යුත්තේ සිය පාසලේ ක්‍රිකට් පළමුව සංවර්ධනය කිරීමයි. තවමත් මෙම පාසලේ ක්‍රීඩකයින් ක්‍රීඩා කරන්නේ ලණු පැදුරු ( මැට්න් ) මතයි. ඉතින් මෙම මහා දානපති ආධි ශිෂ්‍යන් සිය පාසලට තණතීරු සහිත ක්‍රීඩා පිටියක් තනා නොදීම ගැටළු සහගත වනවා. මුළු යාපනයටම ඇත්තේ තණතීරු සහිත එක් ක්‍රීඩා පිටියක් පමණයි. ඒ යාපනය ශාන්ත පැට්රික් විදුහල් ක්‍රීඩා පිටියයි. නමුත් කලින් කලට යාපනයට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටි ලබාදෙන බව පවසමින් සකස්කළ සැලසුම් තවමත් කොළයට පමණක් සීමා වී තිබෙනවා. ඒ යාපනය වැසියන් හා එම ක්‍රීඩකයින් රවටමින්. මේ ඒ පිලිබද Lankasportsnews අප තැබූ සටහනක්.
ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටි කෝලම යාපනේ තිරගතවේ
මේ අතර පැවති ක්‍රීඩක වෙන්දේසියේදී තෝරා ගැනීම් සදහා ක්‍රීඩක කළමනාකරුවන් කිහිප දෙනෙක්ගෙන් දැඩි බලපෑම් එල්ල වී ඇතැයි වාර්තා වනවා. ඒ අතර පෙරමුණේ පසුවන්නේ රාගම ක්‍රීඩා සමාජයේ සභාපති රොෂාන් අබේසිංහයි. ඔහු ක්‍රිකට් ක්‍රීඩකයින් කළමනාකරුවෙක් ද වනවා. එහෙත් කළමනාකරු ලෙස එංගලන්ත ජාතිකයෙක් පෙන්වන ඔහු සත්‍ය ලෙසම කටයුතු කරන්නේ සිය ලේකම්වරිය හරහා බව දන්නෝ දන්නා රහසක්. මේ නිසාවෙන් සිය රාගම ක්‍රීඩකයින් වැඩි පිරිසක් මෙම ක්‍රීඩක වෙන්දේසියට ඇතුලත් වූ බව සදහන්. එම ක්‍රීඩකයින්ව මිලදී ගැනීමට බලපෑම් ඔහු ප්රමුඛ ක්‍රීඩක කළමණාකරුවන් සිදු කරන්නේ ඉන් හිමිවන දීමනාව හේතුවෙන්. ක්‍රීඩකයින් සදහා හිමිවන මුදලින් සියයට 10 ක් කළමනාකරු ලබා ගන්නවා.
ලංකා ප්‍රිමිය ලීග් (LPL) යට සැගවුණු ඇත්ත කතාව - Exclusive Exposed
නිරෝෂන් දික්වැල්ලගේ කළමනාකරු සම්පත් බැංකුවේ සේවයේ නියුතු අමිල කලුගලගේ නැමැත්තෙක්. ඔහු යොවුන් ක්‍රීඩකයන් 20 කට ආසන්න පිරිසකට ක්‍රිකට් ආම්පන්න බෑග් ලබා දී ඔවුන්ගේ කළමනාකරු ලෙස පෙනී සිටිනවා. එමගින් විශාල මුදලක් කොමිස් ලෙස ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ඔහු පුහුණුකරුවන් වූ හෂාන් තිලකරත්නට හා තිලිණ කණ්ඩම්බිට බලපෑම් කර ඇති බව වාර්තා වනවා. එමෙන්ම ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් පිරිසකගේ ආන්දෝලනාත්මක කළමනාකරු චාලි ඔස්ටින් ද ශාම් ඉම්පෙක්ට් නැමැත්තා මගින් තම ක්‍රීඩකයි මිලදී ගැනීමට බලපෑම් කර ඇතැයි සදහන්. ඔහු සමගම පාවාදීම් ගැන සැක කරන ක්‍රීඩක කළමනාකරු ඈෂ් අසංගත් තම ක්‍රීඩකයින් රිංගවීමට බලපෑම් කළ පිරිස අතර ඇතැයි වාර්තා වනවා. මීට අමතරව ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වෙන විට නායකයින් හා පුහුණුකරුවන්ට දුරකථන ඇමතුම් ලබා දුන් ක්‍රීඩකයින් හා කළමනාකරුවන් නැතුවා නොවේ. ඒ පිලිබද තොරතුරු ඉදිරියේදී Lankasportsnews වෙතින් බලාපොරොත්තු වෙන්න.
පොහොට්ටුවේ වේදිකාවට නිරුවතින් නැග්ග ක්‍රිකට් සෙට් එක - Exclusive Exposed Video
මෙම තරගාවලිය පැවැත්වීමට සැබවින්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අවශ්‍ය දැයි සැකයක් පවතිනවා. ඒ ආන්ඩුව ක්‍රිකට් ආයතනයට අත තැබීම වැලැක්වීමට මෙම තරගාවලිය ඇමට භාවිතා කර තිබීම නිසයි. මෙම තරගාවලියේ කණ්ඩායම් මිලදී ගත් හිමිකරුවන් කවුරුන්ද යන්න සහ බුකීකරුවන් ඊට රිංගීම පිලිබද ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ වැඩි අවධානයක් යොමුකළ යුතුයි. ඒ මේ වන විටත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල දූෂණ මර්ධන ඒකකයේ වැඩි අවධානයක් ඊට යොමුව තිබීම නිසා බව සටහන් කළ යුතුමයි. එසේ නොවන්නේ නම් ලොව දූෂිතම ක්‍රිකට් රට යන අගෞරවය සනාථ කරන තරගාවලියක් බවට LPL පත්වීම කිසිවෙක්ට වැලැක්විය නොහැකි වේවි. Lankasportsnews අපට අවශ්‍ය මෙම තරගාවලිය නොපැවැත්වීමට නොව එහි සිදුවන තිරය පසුපස සිදුවීම් ඔබ හමුවේ තැබීම පමණක් බව සටහන් කිරීමට කැමතියි. ඒ වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන් කියා ගන්නා පිරිස වරදාන වරප්‍රසාද වලට යටවීම නිසා ජනතාව සතු තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කිරීම වෙනුවෙන් සැබෑ මාධ්‍යවේදීන් හා මාධ්‍ය සතු යුතුකම ඉටුකිරීමක් ලෙසයි.
No comments