• Breaking News

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දායක වූ පුන්‍යකර්මය


    සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් හා ලකුණු 40 කින් ජය ගැනීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත්වුණා. ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් වගකීම් විරහිතව ක්‍රීඩා කිරීම මෙම පරාජයට හේතුවයි.
    බ්‍රිස්බෙන්හි පැවති මෙම දිවා රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සියළුදෙනා දැවී ලබාගත හැකිවුනේ ලකුණු 144 ක් පමණයි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් නිරෝෂන් දික්වැල්ල ලකුණු 64 ක් ලබා ගත්තා. පෙට් කමින්ස් කඩුලු 04 ක් දවා ගත්තා. පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා කණ්ඩායම සියළුදෙනා දැවී ලකුණු 323 ක් ලබා ගැනීමට සමත්වුණා. එහිදී සුරංග ලක්මාල් කඩුලු 05 ක් බිද දැමුවා. 
    ඉනිමක පරාජයෙන් බේරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවන ඉනිමේදී හිමිවූ ඉලක්කය ලකුණු 180 ක්. එම ඉලක්කය හඹායන  ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ දෙවන දිනය නිමාවන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 17 ක් ලබාගෙන සිටියා. තුන්වන දිනට තරගය අද ආරම්භ කළ මොහොතේ සිටම ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් තරගයට කඩුලු පූජා කරන ආකාරයක් දක්නට ලැබුණා. පිතිකරුවන් 06 දෙනෙකු ලකුණු 09 සීමාව පසුකිරීමට පෙර තරග නරඹන්නන් බවට පත්වුණා. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉනිමේදී සියළුදෙනා දැවී ලබා ගත්තේ ලකුණු 139 ක් පමණයි. ඉනිම බිද දැමූ පෙට් කමින්ස් කඩුලු 06 ක් දවා ගනිමින් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තා.
    ලහිරු තිරිමාන්න ලකුණු 32 ක් ලබා ගත්තා. අවසන් පිතිකරු ලහිරු කුමාර ආබාදයක් හේතුවෙන් දෙවන ඉනිමේදී පිටියට පිවිසියේ නැහැ. ඔහුට සති 04 ක කාලයක් විවේක ගන්නා ලෙස වෛද්‍යවරුන් උපදෙස් දී ඇතැයි සදහන්. දුෂ්මන්ත චමීරද ආබාදයකට ලක්ව සිටින බව නායක දිනේෂ් චන්දිමාල් පවසනවා. දෙරට අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන මස 01 වැනිදා කැන්බරා හිදී ආරම්භවීමට නියමිතයි. එම තරගයේදී පිතිකරුවන් සිය වගකීම ඉටුකර ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයේ අවමානයෙන් ගලවාගනු ඇති බව විශ්වාස කරන බව නායක දිනේෂ් චන්දිමාල් පවසනවා.
    කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායම හමුවේ ලැබූ පරාජයේ අවමානය මකා ගැනීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම මෙම ජයග්‍රහණයත් සමගින් සමත්වුණා. එම පුන්‍යකර්මයට දායක වූ ශ්‍රී ලංකා කණ්ඩායමට ඔවුන් ස්තූතිය පළකර තිබෙනවා. දින 05 ක ටෙස්ට් තරගය දින 03 කින් අවසන් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම කටයුතු කර ඇත්තේ ඕස්ට්‍රේලියාවේ එම දින දෙකේදී සුව පහසු විවේකයක් ලබා ගැනීමට විය යුතුයි. ඊට සියළුදෙනාම ඉඩ ලබා දිය යුතු බව අමුතුවෙන් කිව යුතු නැහැ. 

    No comments