• Breaking News

    හොරු රජවේ රජු බලුවේ


    විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතාට ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජික සංගම් 12 ක අත්සනින් යුතු ලිපියක් පසුගියදා ලැබිණි. ඒ 2010 වසරේ සිට මේ දක්වා සිදුකර ඇති ගිණුම් විගණනය සම්බන්ධයෙනුයි. මෙම ලිපිය පිලිබද කරුණු සාකච්ජා කිරීමට පසුුගිය ජූනි 18 වනදා ක්‍රීඩා අමාත්‍යාශයට විගණකාධිපතිවරයා පැමිණියේ ක්‍රීඩා සංගම් නියෝජිතයින්ද සමගිනුයි.
    එහිදී 2010 වසරේ සිට 2016 වසර දක්වා වාර්ශික ජාතික ඔලිම්පික් කමිටුවේ ගිණුම් යලි විගණනය කිරීමට එකග විය. මෙමගින් අනෙක් සියළු විගණිත මූල්‍ය ප්‍රකාශනවල සත්‍යතාව අභියෝගයට ලක්වීම වැලැක්විය නොහැකියි. එකක් කඩතොලු වසා ගන්නට ගොස් සියක් කඩතොලු සදා ගත්තැයි ඉදුරුවේ ආචාරියා කියමන සිහියට නැගෙන්නේ මෙවිටය. කෙසේ වෙතත් ඉන් මාස 06 ක් මේ වන විට ගතව ඇතත් කිසිවක් සිදු වී නැත්තේ වංචාවන්ට අනුබල දුන් සිය රාජ්‍ය නිලධාරීන්ටද තොන්ඩුව වැටීම හේතුවෙන් විය හැක.
    සාමාජික සංගම් 12 ක අත්සනින් යුතු මෙම ලිපියේ මූලික විගණන ගැටළු 08 ක් දක්වා තිබෙයි. 2014 වසරේදී ජාතික ටෙනිස් සංගමයට රුපියල් මිලියන 15 ක මුදලක් ලබාදීම ඇතුලු ව්‍යාපෘති ගිණුම් වාර්තා නිසි ලෙස ලබා නොදීම ඊට ඇතුලත්ව ඇත. සැක කටයුතු මුදල් හුවමාරුව ලෙසින් දක්වා මහ බැංකුව ජාතික ඔලිම්පික් කමිටුවේ විදෙස් මුදල් ගිණුම අත්හිටුවීමට කටයුතු කිරීමද මෙහිදී ප්‍රශ්න කර තිබෙයි.
    2009 වසරේ ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය පැවැත්වූ පසු යලි නිලවරණය පැවැත්වූයේ 2018 වසරේ පෙබරවාරි 23 වැනිදායි. ඒ 2013 වසරේ නිලවරණය කැදවා එය දේශපාලන අතපෙවීම් හා තම නීති රීති වලට පටහැනි බව නීරණය කර දින නියමයක් නොමැතිව කල් දැමීම මට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව කටයුතු කිරීම සමගයි. එම නිලවරණයේ සභාපති අපේක්ෂකයින් ලෙස රොහාන් ප්‍රනාන්දු හා එවකට අමාත්‍ය ඩිලාන් පෙරේරා ඉදිරිපත්ව සිටියා. ඒ වන විට වසර 17 ක් සභාපති ලෙස සිටි හේමසිරි ප්‍රනාන්දු මහතාගේ පූර්ණ සහය හිමිවූ අපේක්ෂකයා වූයේ  රොහාන් ප්‍රනාන්දුයි. ඔහු අමාත්‍ය සරත් අමුණුගමගේ බෑනායි. එදා නිලවරණය නොපැවැත්වීම හේතුවෙන් වසර 05 කට ආසන්න කාලයක් නිලවරණයක් නොමැතිව සභාපති හේමසිරි ප්‍රනාන්දු හා ලේකම් මැක්ස්වෙල් ද සිල්වා / භාන්ඩාගාරික ගාමිණී ජයසිංහ යන මහත්වරුන් පමණක් ජාතික ඔලිම්පික් කමිටුව පාලනය කළා. ඒ විධයක කමිටු / නිලධාරී කමිටු හෝ මහ සභා රැස්වීමක් නොමැතිවයි.
    එවකට තම අපේක්ෂක රොහාන් ප්‍රනාන්දු මහතා  මෙවර ඉදිරිපත්වීමේදී ලේකම් ලෙස කටයුතු කරන මැක්ස්වෙල් ද සිල්වා  මහතා සිය ලේකම් ලෙස ගත නොහැකි බව ප්‍රකාශ කර ඇතැයි සදහන්. ඒ ලේකම්වරයා ගෙන ගිය අත්තනෝමතික හා දූෂිත පාලනයට විරෝධය පළ කරමිනුයි. පැණි වරකා ගහට හෙණ ගසා තීබීම හේමසිරිගේ ප්‍රතිවාධියකු බවට රොහාන් පත්කිරීමට මුල් විය.
    කලකදි රහ කලකදි වහ වෙන බව පැරැන්නන් කීවේ මෙවැනි කරුණු මුල් කර ගිනිමිනුයි. මෙවර සභාපති තරගයට රොහාන් ප්‍රනාන්දු මහතා සමග ඉදිරිපත් වූයේ  සුරේෂ් සුභ්‍රමනියම් මහතායි. සුරේෂ් පිලිබද කිසිවෙක් වැඩි විස්තරයක් දැන සිටියේ නැහැ. මාධ්‍යහමු පවත්වමින් ලේකම් මැක්ස්වෙල් ද සිල්වාගේ ක්‍රියා කළාපය පතුරුගැසීමට රොහාන් ප්‍රනාන්දු කටයුතු කළා. එහෙත් ජාතික ඔලිම්පික් කමිටුව අනුගමනය කළේ නිහඩ පිලිවෙතක්. ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස එවකට සිටි දයාසිරි ජයසේකර මහතා පැවසුවේ යලි බලයට පැමිණීමට ජාතික ඔලිම්පික් කමිටුවේ හිටපු සභාපති / ලේකම් හා භාණ්ඩාගාරික යන තිදෙනාට යලි අවස්ථාව ලබා නොදෙන බවයි. එහෙත් එය සිංහ නාද බලු කෙදිරිලි බවට පත්කරමින් ලේකම්  මැක්ස්වෙල් ද සිල්වා යලි නිලවරණයට ඉදිරිපත් වුණා.
    නිලවරණය පළමුව පැවැත්වීමට නියමිත වුනේ 2018 ජනවරි 08 වැනිදායි. එය විගණනය අවසන් නොවීම ඇතුලු කරුණු කිහිපයක් හේතුවෙන් පෙබරවාරි 23 ට කල් ගියා. නිලවරණයට පළමුව අවසන් වරට රොහාන් ප්‍රනාන්දු මහතා පැවැත්වූ මාධ්‍ය හමුවට ක්‍රීඩා සංගම් 16 ක නියෝජිතයින් එක්ව සිටියා. තවත් සංගම් 04 ක් තමන්ට සහය ලබාදීමට එකගතාව පළකර ඇති බවයි ඔහු පැවසුවේ. නිලවරණයට ජන්ද 31 ක් ප්‍රකාශය වීමට නියමිත වුණා.
    මේ අනුව ජයග්‍රහණය රොහාන්ට බවයි නිලවරණයට පෙර තහවුරු වුණේ. නිලවරණයේදී එක් ජන්දයක් කුරුටු ගා අවලංගු කර තිබුණා. රොහන් ජන්ද 12 ක් සුරේෂ් ජන්ද 18 ක් ලබා ගත්තා. මේ අනුව අවසන් මොහොතේ සංගම් හතරක් පිල් මාරු කර තිබුණා. ඒ පාපැදි / ජිම්නාස්ටික් / ගොල්ෆ් හා බාස්කට්බෝල් සංගම් බව මේ වන විට තහවුරු වී අවසන්. මෙලෙස පිල් මාරුවට හේතුව නිලවරණයට පෙර දින රාත්‍රියේ පැවති සාදයකදී රුපියල් ලක්ෂ 05 ක් හා ඕස්ට්‍රේලියාවේ ගෝල් කොස්ට් නුවර සංචාරයක් සදහා ගුවන් ටිකට්පත් ලබා දීම බව රාවයක් වෙයි. එහි සත්‍ය අසත්‍යකාව දන්නේ ඔවුන්ම පමණි. මෙවැනි ප්‍රතිලාභ හිමිවීම හා  හේමසිරිගේ දැනුම්දීමට හරිහැටි සිංහලවත් බැරි වත්මන් සභාපති සුරේෂ් සුභ්‍රමනියම් මහතාට මෙවැනි ජන්ද සංඛ්‍යාවක් හිමිවීමට හේතුව වු බවයි එවක වාර්තා වුනේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ හිතවතකු වන සුරේෂ් සුභ්‍රමනියම් මහතා මුදල් උපයා ගෙන ඇති ආකාරය හා විදෙස් රටවල ගිණුම් පැවතීම ක්‍රීඩා ක්ෂේත්‍රයේ දැඩි කථාබහට ලක්ව තිබෙනවා.
    දර්ශන කරුණාරත්න -


    No comments