• Breaking News

    උත්තේජකයන්ට යටවූ කොළඹ පිටිය


    ශ්‍රී ලංකව ලෝකය තුල හොදින් හෝ නරකින් බැබලෙනවා නම් අපට සතුටුය. අපිට ඕනෑ ලෝකය පරදා පදක්කම්ය. නිමාවූ 18වන ආසියා කණිෂඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ආසියාව පරාජය කළ හැකි බව මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔප්පු කර පෙන්වූවාය. පසුගිය 07 වනදා සිට 10 වනදා දක්වා ජපානයේ පැවති මෙම තරගාවලියේදී පදක්කම් සටහනේ පස්වන තැන ශ්‍රී ලංකාවට හිමිවූයේ රන් පදක්කම් 03 ක් රිදී පදක්කම් 04 ක් හා ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගනිමින්ය. ඒ රටවල් 39 ක් සිටි තරගාවලියේදීයි. ආසියා කණිෂ්ඨ මලල ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රී ලංකාව දිනූ වැඩිම පදක්කම් සංඛ්‍යාව වූ  ඊට නව ආසියා කණිෂ්ඨ වාර්ථාවක්ද ඇතුලත් වුණා. අරුණ දර්ශන ක්‍රීඩකයා එලෙස බිද දැමුවේ වසර 19 ක් පැරණි මීටර 400 ඉසව්වේ තරග වාර්ථාවයි. මේ අනුව ඔහු ලෝක කණිෂ්ඨ මලල ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අතර 08 ස්ථානය වන හිමිකර ගනිද්දී මෙම තරගාවලියේ රිදී පදක්කම දිනා ගත් දිල්ෂි කුමාරසිංහ ක්‍රීඩිකාව ලෝක කණිෂ්ඨ මලල ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අතර 10 වන ස්ථානය හිමිකරගෙන සිටියි. කෙසේ වෙතත් මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් කොළඹ ගෙනවිත් සංචිත ගත කර පුහුණුකළහොත් ඔවුන් මේ මට්ටමින් ඉහළට යා නොහැකි වනු ඇති බවයි මලල ක්‍රීඩා පුහුණුකරුවන් පවසන්නේ. ඊට හේතුව වී ඇත්තේ මේ වන විට කොළඹ මලල ක්‍රීඩාව අමතර පෝෂක හා උත්තේජක රකුසා බිලිගෙන සිටීමයි. එමෙන්ම යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළලේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම දිනා ගැනීමට පාරමී මාරෙස්ටලා ක්‍රීඩිකාව සමත්වුණා.
    සුනිල් ගුණවර්ධන මහතා මෙරට මලල ක්‍රීඩාවට බිහිවූ ජේෂඨ හා සාර්ථක මලල ක්‍රීඩා පුහුණුකරුවන් අතර පෙරමුනේ පසුවන්නෙක්. දමයන්ති දර්ශා / රොහාන් ප්‍රදීප් / ප්‍රසන්න අමරසේකරගේ පුහුණුකරු වූයේ ඔහුයි. එහෙත් ඔහු මේ වන විට ක්‍රීඩා පිටියට පැමිනෙන්නේ නැත.
    බත් කාල වතුරබීල ලංකාවෙන් එහා ලෝකය දිනන්න බෑ කියන මතය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කා වැදී අවසන්ය. ක්‍රීඩාව මේ වන විට බිස්නස් එකක් බවට පත්ව ඇත. ක්‍රීඩා පිටිය ඇතුලටම පැමිණ අමතර පෝෂක ලබා දෙයි. ක්‍රීඩකයින් කන බොන විදිහ වතුර පානය කරන ප්‍රමාණය මෙන්ම නිදා ගන්නා පැය ගණනද මෙම ව්‍යාපාරිකයින් සොයා බලයි.
    ජාතික මලල ක්‍රීඩකයකු පැවසුවේ මාසයකට රුපියල් 15 000 ත් 20 000 අතර වියදම් කර අමතර පෝෂක තමන් ඇතුලු බොහෝ ක්‍රීඩකයින් ලබා ගන්නා බවයි. පෝටීන වර්ගයක් මෙලෙස ලබා ගන්නා ඔවුන් තරග සමය තුල විටමින් වර්ගයක් ලබා ගනියි.
    පෝටීන අඩංගු පිටි වර්ගය හේතුවෙන් ශාරිරි අභ්‍යාස හා කායවර්ධන ව්‍යායාම වැඩියෙන් කිරීමට ශක්තිය ලැබෙන බවයි මතය. විටමින් වර්ගය ලෙඩ රෝග වැලදීමෙන් වැලකී සිටීමට හේතු වනවා. තරග සමය ආරම්භ වන විට ක්‍රීඩකයින් තහනම් උත්තේජකයන්ට හසු නොවී සිටීමට එන්නත් මෙන්ම ප්‍රාථමික ද්‍රවය ද භාවිතයටද ගනී. උදාහරනයක් ලෙස රාබු වැඩිපුර ආහාරයට ගන්නේ මේ පිලිබද ඇති බිය හේතුවෙනුයි. ඊට එන්නත ලබා ගන්නේ නම් රුපියල් 20 000 කට අධික මුදලක් වැය කිරීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිදුවෙයි. නුගේගෝඩ හා කොළඹ කේන්ද්‍ර කර ගනිමින් මෙම උත්තේජක මාෆියාව සිදුවෙයි.
    දකුණු අප්‍රිකා රගිබි වෛද්‍යවරයා වන රොස් කටර් පවසන්නේ ලෝකයේ ඔලිම්පික් ක්‍රීඩකයින් සියයට 60 ක් තහනම් උත්තේජක ලබා ගන්නා බවයි. තහනම් උත්තේජක මර්ධනය කළ නොහැකි බවයි ඔහුගේ මතය. ඊට පිලිතුර ලෙස ඔහු ලබා දෙන්නේ තහනම් උත්තේජක නීතිගත කළ යුතු බවයි. ලංකාවේ මතුව ඇති තත්වය දෙස බැලූ විට අපටද සිතින්නේ ජාතික උත්තේජක මර්ධන නියෝජ්‍යායතනය සිදු කරන්නේ බොරුවක් බවයි. ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙලෙස උත්තේජක ලබා ගන්නා බව ඔවුන් දනී. එහෙත් පරීක්ෂාවන් සිදු කරන්නේ තරග සමයේ පමණයි. ඉන් පිටත සිදුකරන පරීක්ෂාවන් කල්තියා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දනි. එවිට ඒවාට ඔවුන් සූදානම්වීම අරුමයක් නොවේ. 
    කෙන්යාවේ පරිසරය හා ජාන එරට ක්‍රීඩකයි දුර දිවීමේ ශූරයින් බිහි කිරීමේ රහසයි. ජැමෙයිකා පරිසරය හා ජාන එරට ක්‍රීඩකයි කෙටිදුර ශූරයින් බවට පත්කර තිබෙයි. මේ සියල්ලට වඩා වෙනස් පරිසරයක හා ජාන හිමි අප අපගේ භූමිකාරව තීරණය කළ යුතු කාලයයි අද පැමිණ ඇත්තේ. කෙසේ වෙතත් අපට අවශ්‍ය පදක්කම් සහ ජයග්‍රාහණ පමණි.

    No comments