• Breaking News

    එංගලන්තය හතර ගාතේ ඇද වැටීමට හේතුව


    එංගලන්ත කණ්ඩායම සමග පැවති අවසන් එක්දින ක්‍රිකට් තරගය ලකුණු 219 ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. කෙසේ වෙතත් තරගාවලිය නිමාවුනේ තරග 03 ට 01 ක් ලෙස එංගලන්ත කණ්ඩායම ජය ගනිමිනුයි. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දිවා රාත්‍රී තරගයක් ලෙස පැවති අවසන් එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06 ක් දැවී ලකුණු 366 ක් ලබා ගත්තා. කලකට පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරිපෙළ පිතිකරුවන් සාර් ථක වෙමින් එංගලන්ත පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් එල්ල කළා. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් නිරෝෂන් දික්වැල්ල ලකුණු 95 ක් රැස් කළා. නායකත්ව ඉනිමක් ක්‍රීඩා කරමින් ක්‍රීඩා කරමින් දිනේෂ් චන්දිමාල් ලකුණු 80 ක් ලබා ගත්තා. සිය මංගල අර් ධ ශතකය රැස් කරමින් සදීර සමරවික්‍රම ලකුණු 54 ක් ලබා ගත්තා. වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් කුසල් මෙන්ඩිස් ලකුණු 56 ක් රැස් කළා.
    පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායමේ ඉදිරිපෙළ පිතිකරුවන්ට වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. ප්‍රධාන ලකුණු පුවරුව ලකුණු 04 ක් ලෙස සටහන්ව තිබියදී පළමු පිතිකරුවන් 03 දෙනාම තරග නරඹන්නන් බවට පත්කිරීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් සමත්වුණා. එතැන් සිට එංගලන්ත කණ්ඩායමේ පිතිකරුවන්ට රිසි සේ ලකුණු රැස් කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. පිතිකරුවන් 06 දෙනෙකුට ලකුණු 05 සීමාව පසුකිරීමට හැකිවුනේ නැහැ. අකිල ධංජය කඩුලු 04 ක් හා දුෂ්මන්ත චමීර කඩුලු 03 ක් දවා ගත්තා. එංගලන්ත කණ්ඩායම පන්දුවාර 26 යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 09 ක් දැවී ලකුණු 132 ක් ලබා සිටියදී වර් ශාවෙන් බාධා එල්ල වුණා. මේ අනුව ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 219 ක ජයග්‍රහණයක් ශ්‍රී ලංකාවට ලබාදීමටයි විනිසුරුවන් කටයුතු කළේ. මෙම තරගයේ දී හිටපු ක්‍රිකට් ක්‍රීඩක මහේල  ජයවර් ධන පළමුවරට සිංහල විස්තර විචාරය සදහා එක්වීම කැපී පෙනෙනවා.

    No comments